Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර ගණනාවකට පසුව රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයක් නොමැතිව සමාරම්භක උත්සවය පැවැත්වූ 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ක්‍රීඩාව වන මලල ක්‍රීඩා තරගාවලිය අද (12) පොළොන්නරුව මැදිරිගිරිය දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ. මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අනිද්දා (14) දක්වා දින තුනක් පුරා පැවැත්වේ.
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වර්ෂා කාල ගුණයක් පැවැතියත් පොළොන්නරුව ප්‍රදේශය හා අවට තවදුරටත් වියළි කාල ගුණයක් පවතින බැවින් ඊයේ දිනයේ පස්වරුවේදී සමාරම්භක උත්සවය සාර්ථකව පවත්වා අවසන් කෙරුණි.
අද පෙරවරු 6.15ට මීටර 10,000 (පිරිමි) ඉසව්වෙන් මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් පැවැත්වීම ආරම්භ විය. තණකොළ සහිත ධාවන පථයක ධාවන ඉසව් වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් විශේෂ දක්ෂතා අපේක්ෂා නොකරන බව ඔවුන්ගේ පුහුණුකරුවෝ පිරිසක් ‘ලංකාදීප’යට පැවැසූහ.
අද දිනයේදී පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා ඉසව් ගණන 10 කි. හෙට සහ අනිද්දා (13 සහ 14) තවත් මලල ක්‍රීඩා ඉසව් අවසන් තරග 26ක් පවත්වා අවසන් කිරීමට නියමිතය.
අවසන්වරට මෙම ක්‍රීඩාංගණයේදී ජාතික මහ ක්‍රීඩා උළෙලක් පවත්වා තිබෙන්නේ 2009 දීය.
සමාරම්භක උත්සවයට රාජ්‍ය නායකයන් සහභාගි නොවීම පිළිබඳව පිළිගැනීමේ කතාව කරමින් ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා පැවැසුවේ ඒ සඳහා සුසන්තිකා ජයසිංහ මහත්මිය වැනි අයෙකු ප්‍රධාන ආරාධිතයන් අතරට ගෙන්වීම සම්ප්‍රදාය කඩ කිරීමක් ලෙස පෙන්වීමට ඇතැම් නිලධාරීන් උත්සාහ කළ බවයි. එහෙත් ඇය ක්‍රීඩාවට කර තිබෙන මෙහෙවර ජාතියට අමතක කළ නොහැකි බැවින් ඇයට එම ආරාධනාව කර සිටි බවත් ක්‍රීඩා ඇමැතිවරයා එහිදී පැවැසීය.
තමා ඔලිම්පික් පදක්කම දිනා පසුගිය සැප්තැම්බර් 28 වැනිදාට වසර 18 ක් පිරෙන බවත් එම ජයග්‍රහණයට රටෙන් මෙතෙක් ලැබුණු ඉහළම පිළිගැනීම ලෙස තමා ජාතික මහ ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස කැඳවීම සළකන බවත් ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවැසුවාය. හිටපු සුපිරි ධාවන ශූරීයක වන සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රවර්ධන උපදේශිකාවකි.
පොළොන්නරු දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ ආරම්භ වූ 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදී හැඟුම්බරව කඳුළු සළමින් කතා කළ ඇය එහිදී මෙසේද පැවැසුවාය.
“අද මම ඔලිම්පික් පදක්කම දිනා ගැනීමට වසර 18 කට පසුව ලොකුම පිළිගැනීම රටේ ලැබුණා. ඒ ගැන මට ගොඩක්ම සතුටක් තිබෙන්නෙ. ක්‍රීඩාව ගැන අප තරම් දැනුමක් නැති ෆයිසර් මුස්තාෆා මහතා වැනි ක්‍රීඩා ඇමැතිවරයකුගෙ කාලයේදී මට එම පිළිගැනීම ලැබීම ගැනයි”
“අපි දැන් පසුගිය කාලේ ආසියානු පොදු රාජ්‍ය මණ්ඩලීය වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල රාශියකට සහභාගි වුණා. නමුත් අපිට ලැබුණු කිසිම දෙයක් නෑ. මේකට හේතුව ක්‍රීඩාව පසුගිය කාලය පුරා දේශපාලනීකරණය වෙලා තිබීමයි. අද රටේ පාසල් ක්‍රීඩාවන් කඩා වැටිලා. මම ඔලිම්පික් ලෝක ශූරතා පදක්කම් තුන් පාරක් දිනුව. නමුත් මට රටෙන් ලැබුණෙ මොනවද?” යයි ඇය ප්‍රශ්න කළාය.
“මම පිළුණු ගඳ ගහන බත් මුල් ලිහන් කාලා ඉස්කෝලෙ ඉගෙන ගන්න ටයි එකක්වත් නැතුව පාන් ගෙඩිය ගෙදර සහෝදරියො එක්ක හතරට කඩන් කාලා ජීවත්වුණු ක්‍රීඩිකාවක්. ඒ වගේ දුක් කන්දරා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොදෙන්න වැඩ කරන්න, මට ක්‍රීඩා ඇමැතිවරයා දුන්න තනතුර යොදා ගන්නවා” යයිද ඇය පැවසූවාය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.