Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ 2018-2019 නිලවරණයේදී සභාපති ධූරයට තරග වැදීම සඳහා එම සංගමයේ උප සභාපතිවරයකු වන ලලිත් ලියනගේ මහතා ඉදිරිපත් කළ නාමයෝජනාව පිළිගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නිලවරණ කමිටුව තවමත් අසමත් වී තිබේ.
තමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේසපන්දු තරගවලියකට සහභාගි වූ බව සනාථ කිරීම සඳහා ලියනගේ මහතා නිලවරණ කමිටුවට ඉදිරිපත් කර තිබූ සහතිකයක් සම්බන්ධයෙන් නාමයෝජනා විවෘත කළ දිනයේදී ගැටලුකාරී තත්වයක් උද්ගත විය. ඒ අනුව එම සහතිකයේ වලංගුභාවය සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීම සඳහා එය ක්‍රීඩා අමාත්‍යංශයේ නීති අංශයට යොමු කිරීමට නිලවරණ කමිටුව පියවර ගත්තේය.
සහතිකය සම්බන්ධයෙන් නීති අංශයෙන් ලැබෙන උපදෙස්වලට අනුව නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයන් වන චන්දන ලියනගේ මහතා (ජාතික ඔලිම්පික් කමිටුව) සහ සුභානි උඩවත්ත මහත්මිය (ක්‍රීඩා අමාත්‍යංශය) සමග සාකච්ඡා කර ලලිත් ලියනගේ මහතාගේ නාමයෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළබෙන බව එම කමිටුවේ සභාපති ජී.ජී. වීරක්කොඩි මහතා මින් පෙර අවස්ථාවක ‘ලංකාදීප’යට පැවසීය.
එසේ වුවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට පැවරීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබේ. එම කමිටුවේ නිලධාරීන් තිදෙනාගේම අත්සන් සහිත ලියැවිල්ලක් මගින් ඔවුන් එම වගකීම ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට පවරා තිබේ. ලියනගේ මහතාගේ සහතිකය ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් ලැබූ සහතිකයක්ද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසද එම ලියැවිල්ල ඔස්සේ නිලවරණ කමිටුව, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයෙන් ඉල්ලා සිටියි.
තවද අදාල සහතිකය ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් ලැබූ සහතිකයක් නම් ලියනගේ මහතාගේ නාමයෝජනාව පිළිගැනීමටත්, එය ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් ලැබූ සහතිකයක් නොවන්නේ නම් ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමටත් නිලවරණ කමිටුව ශ්‍රී ලංකා මේසපන්දු සංගමට නිර්දේශ කර තිබේ. ඒ අනුව ලියනගේ මහතාගේ සහතිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මේසපන්දු සංගමය ගන්නා තීරණය මත ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත.
මේසපන්දු සංගමයේ නිලවරණය සඳහා ඉදිරිපත්ව තිබූ නාමයෝජනා විවෘත කිරීම, විරෝධතා බාරගැනීම සහ විරෝධතා විභාග කිරීම ඉකුත් සෙනසුරාදා (6 වැනිදා) පැරණි ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේදී පැවැත්විණ. එහිදී ලියනගේ මහතාගේ නාමයෝජනවට එරෙහිව ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේසපන්දු සංගමයෙන් විරෝධතාවක් ඉදිරිපත් වූ අතර එහි සඳහන් වූයේ ලියනගේ මහතාගේ නාමයෝජනව ක්‍රීඩා පනතට අනුකූල නොවන බවයි.
තමා ශ්‍රී ලංකාව නියෝජනය කළ බවට ලියනගේ මහතා නිලවරණ කමිටුවට ඉදිරිපත් කර ඇති සහතිකය 2017 වසරේ මෙරටදී පැවැති ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර මේසපන්දු තරගාවලියකට සහභාගි වීම වෙනුවෙන් ඔහු ලැබූ සහතිකයකි. ලියනගේ මහතා එම තරගාවලියට සහභාගි වී ඇත්තේ තමා සභාපතීත්වය දරන ස්ටැග් මේසපන්දු ක්‍රීඩා සමාජය නියොජ්නය කරමින් බවටත්, ස්ටැග් මේසපන්දු ක්‍රීඩා සමාජය හැරුණුකොට මෙරට තවත් ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම් රැසකින් එම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් සහභාගි වී ඇති බවටත් මේ වන විට කරුණු අනාවරණය වී තිබේ.
යම්කිසි ක්‍රීඩකයෙක් තමා ශ්‍රී ලංකාව නියෝජනය කළා යැයි කියන්නේ නම් ඔහු තේරීම් කමිටුවක් මගින් තෝරාගත් ක්‍රීඩකයකු විය යුතු බවත්, එසේ නොවන්නේ නම් ඔහු තේරීම් තරගාවලියට සහභාගි වී ඉන් තේරුණ ක්‍රීඩකයකු විය යුතු බවත් මේසපන්දු ප්‍රවීනයෝ පෙන්වා දෙති.
එසේ වුවත් තමා ශ්‍රී ලංකාව නියෝජනය කළ බවට සාක්ෂි ලෙස ලියනගේ මහතා ඉදිරිපත් කර ඇති සහතිකය ලබාගත් තරගාවලියට ඉහත පරිදි තේරීම් තරගාවලියකින් හෝ තේරීම් කමිටුවක් මගින් තෝරාගත් ක්‍රීඩකයන් පිරිසක් සහභාගි වී නොමැති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමේදී දැනගත හැකි වූයේ මෙටර ඕනෑම ප්‍රවීන ක්‍රීඩකයකුට එම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව හිමිවී ඇති බවයි.
ඒ අනුව ලියනගේ මහතා ඉදිරිපත් කළ සහතිකය ශ්‍රී ලංකාව නියෝජනය කළ බවට පිළිගත නොහැකි බව සඳහන් කරමින් උක්ත තරගාවලිය සංවිධානය කළ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේසපන්දු සංගමයද එම සංමගේ සභාපති මොහොමඞ් ලෆීර් මහතාගේ අත්සන සහිත ලිපියක් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වැඩ බලන සභාපති චතුර ජයේන්ද්‍ර මහතාට යොමුකර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.