Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ප්‍රබලම බේස්බෝල් කණ්ඩායම් අටේ සහභාගීත්වයෙන් මේ වසරේ සැප්තැම්බර් මස චීන තායිපේහිදී පැවැත්වීමට නියමිත ආසියානු බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
ඒ අනුව එම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝක බේස්බෝල් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ රැදී සිටින ජපානය, තෙවැනි ස්ථානයේ පසුවන කොරියාව, සිවුවැනි වැනි ස්ථානයේ පසුවන චීන තායිපේ සහ 18 වැනි ස්ථානයේ පසුවන චීනය වැනි ප්‍රබල රටවල්වලට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත.
ඉකුත්දා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී නිමාවට පත්වූ 13 වැනි බටහිර ආසියානු බේස් බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකාවට ආසියානු බේස්බෝල් තරගාවලියට සහභාගි වීමේ වරම් හිමිවිය.
ශ්‍රී ලංකාව බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී සත්කාරක පාකිස්තානය පරාජය කරමිනි. එම තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකාව ලෝක බේස්බෝල් ශ්‍රේණිගත කිරීම්හි 52 වැනි ස්ථානයේ පසු වූ අතර පාකිස්තානය එහි 24 වැනි ස්ථානයේ පසුවිය.
මූලික වටයේදී ලකුණු 22-0 ක් ලෙස ඉරානය පරාජය කළ ශ්‍රී ලංකාව, අවසන් පූර්ව වටයේදී ලකුණු 11-0 ක් ලෙස නේපාලයත්, අවසන් මහ තරගයේදී ලකුණු 4-2 ක් ලෙස පාකිස්තානයත් පරාජය කරමින් අපරාජිත කණ්ඩයම ලෙස බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය නිමා කළේය.
“මේක අපිට හුගක් තීර්ණාත්මක තරගාවලියක් වුණා. ඒත් අපි මේ අවස්ථාව ගැන සිහින දකිමින් සිටියේ. දැන් ඒක හැබෑ වෙලා තියෙනවා.” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව පාකිස්තාන පුවත්පතකට අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අකලංක රණසිංහ කියා සිටියේය.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම උප නායකයා ලෙස සමීර රත්නායක කටයුතු කළ අතර ඉරේෂ් කෝසල, නිලංක කරුණාරත්න, සම්පත් රුවන් කුමාර, අසංක ලක්මාල්, ලසන්ත සංජීව, චරිත් හපුආරච්චි, සංජීව ජයරත්න, අරුණ ශාන්ත, සඳුන් මධුෂංක, තරිඳු මධුමාල්, සාලිය අනුරාධ, අවිෂ්ක ගුණසේකර, සුබාෂ් ගුණසිරි, නවීන් අනුරාධ, කෞෂල්‍ය ප්‍රබුද්ධ සහ අෂාන් වීරසේකර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩකයෝ වූහ.
මිලිඳු හේවගේ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසද, දිනේෂ් පෙරේරා මහතා කලමණාකරු ලෙසද කණ්ඩායමට එක්ව සිටි අතර ජපන් ජාතික හිදෙකි කොයාමා සහ කසුයා යාගි යන මහත්වරු කණ්ඩායමේ සහායක පුහුණුකරුවෝ ලෙස තරගාවලියට සහභාගි වූහ.
ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉරානය, ඉරාකය සහ නේපාලය යන රටවල් එම තරගාවලියට සහභාගි වූ අතර පාකිස්තානයට යෑම සඳහා වීසා ලාබාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඉන්දියාවට එම තරගාවලියට සහභාගිවීමේ වරම් අහිමි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.