Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශ්‍රී ලංකා යොවුන් සංචිතයට ක්‍රීඩිකාවන් 20 ක්

ශ්‍රී ලංකා යොවුන් සංචිතයට ක්‍රීඩිකාවන් 20 ක්

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹදී ඊයේ (23) පැවැති ලෝක යොවුන් දැල්පන්දු තේරීම් පරීක්ෂණයේදී පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වූ පරාජිත ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් නැවත ජාතික යොවුන් දැල්පන්දු සංචිතය සඳහා තේරී සිටිති.

කොරියාවේ “ජොංජු” නුවරදී පසුගිය මැයි 13 වැනිදා නිමාවට පත්වූ තෙවෙනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම එහිදී සිව්වැනි ස්ථානය දක්වා පසුබෑමකට ලක්වූයේ ගියවර තරගාවලියේ ශූරියන්ව සිටියදීය.

කෙසේ වුවත් ටොරින්ටන් පෙදෙසේ එළිමහන් දැල්පන්දු පිටියේදී පැවැති ජාතික යොවුන් දැල්පන්දු සංචිතයේ තේරීම් සඳහා ක්‍රීඩිකාවෝ 59 දෙනෙක් සහභාගි වූහ. එහිදී ජාතික දැල්පන්දු තේරීම් කමිටුව නිර්දේශ කළ 20 දෙනෙකුගෙන් සමන්විත නව සංචිතය සඳහා කොරියාවේදී පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාගෙන් සහභාගි වූ 11 දෙනාම ඇතුළත්ව සිටීම කැපී පෙනේ. ආසියානු යොවුන් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගි වූ එක් ක්‍රීඩිකාවක් වෛද්‍ය සහතික ඉදිරිපත් කරමින් මෙම තේරීම් සඳහා සහභාගිවී නැත.

ලබන ජූලි 8 වැනිදා සිට 17 වැනිදා දක්වා “බොට්ස්වානා” හිදී පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු තරගාවලියට ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ජූනි 19 වැනිදා නිර්දේශ කිරීමට නියමිතය. තවත් ක්‍රීඩිකාවන් අට දෙනෙකු ලෝක තරග සංචිතයට ඇතුළත්ව සිටිති.

 මේ අතර ආසියානු යොවුන් තරග පරාජයෙන් පසුව ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ පූර්ණ වෙනසක් කෙරෙන බව  ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබුණි. ජාතික ක්‍රීඩා පාලක සභාවේ සභාපති, ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදේශක මිල්ටන් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් නව තීරණ රැසක් ගනු ලැබිණ.

ඒ සඳහා දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනි යසා රාමචන්ද්‍ර මහත්මිය හා එහි එළඹෙන නිලවරණයේදී සභාපති ධුරයට නිතරගයෙන් පත්වීමට නියමිත ටි්‍රක්ෂි නානායක්කාර මහත්මිය ඇතුළුව දැල්පන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරිනියන් ගණනාවක්ද සහභාගිවී සිටියහ. කෙසේ වුවත් දැල්පන්දු සම්මේලනයේ වත්මන් පාලනයේ නිල කාලය තවමත් අවසන්ව නොතිබියදී ඒ සඳහා ඉදිරි නිලවරණයට ඉදිරිපත්ව සිටින නිලධාරිනියක් ද හවුල්කර ගැනීම පිළිබඳව දැල්පන්දු සම්මේලනයේ වත්මන් නිලධාරිනියන්ගේ නොසතුට පළවී ඇතැයිද වාර්තා වේ.

 ඒ පිළිබඳව ජාතික ක්‍රීඩා පාලක සභාවේ සභාපති මිල්ටන් අමරසිංහ මහතාගෙන් “ලංකාදීප” ය කළ විමසුමකදී පැවසුවේ එම සාකච්ඡාවට තමා දැල්පන්දු නිලධාරිනියන් කැඳවූයේ ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදෙස් පරිදි බවයි.
 ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාව කඩා වැටීමකට ලක්ව තිබෙන අවස්ථාවක එය ගොඩ ගැනීමට නම් මෙරට දැල්පන්දු ක්ෂේත්‍රයේ සියලු පාර්ශව හවුල් කරගත යුතු බැවින් මෙම සාකච්ඡාවට ඒ සඳහා  වැදගත්වන පාර්ශව හවුල්කර ගත් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

බොට්ස්වානාහිදී පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම් විශේෂඥ පුහුණුකාරිනිය ලෙස හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිනියක් වන කලක් සිංගප්පූරුවේද ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ හයිසින්ත් විජේසිංහ මහත්මිය පත්කර තිබේ.

 කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස අමල්කා ගුණවර්ධන මහත්මියත් සහාය පුහුණුකාරිනිය ලෙස ජානකී ගුණසේකර මහත්මියත්, අභ්‍යාසක ලෙස ආනන්ද වන්නිතිලක මහතාත් වෛද්‍ය නිලධාරියා ලෙස ලාල් ඒකනායක මහතාත්, කළමනාකාරිණිය ලෙස ජයන්ති සෝමසේකරම් ද සිල්වා මහත්මියත් පත් කිරීමට දැන් තීරණය කර තිබේ. එම සියලු පත් කිරීම් ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සිදුකර තිබේ. පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළේ තමාරා ලියනගේ මහත්මියයි.

 

ලෝක යොවුන් දැල්පන්දු ශූරතාවලියට සූදානම් කළ ජාතික යොවුන් දැල්පන්දු සංචිතය.

බිමන්සා රත්නායක (කොළඹ කාන්තා විදුහල, නටාෂා අලුවිහාරේ (මහනුවර හිල්වුඞ් බාලිකා විදුහල), රෂ්මි දිව්‍යාංජලී (දෙහිවල ප්‍රෙස්බෙටේරියන් බාලිකා විදුහල), නෙලුෂි හපුආරච්චි (නාවික හමුදාව), පුරණි ගමගේ (යුද හමුදාව), මන්දිරා චාරුනි සම්පත් (සෙලාන් බැංකුව), රජමි නිර්මාණි (සී.ඩී.බී. පිනෑන්ස්), කවිතා රාජපක්‍ෂ, මල්සා සත්සරි (සෙලාන් බැංකුව), සචිනි හිරුණිකා රුද්‍රිගු (යුද හමුදාව), හෂිනි පෙරේරා (යුද හමුදාව), නදි ප්‍රනාන්දු,  නෙරුෂා වර්ණකුල (නාවික හමුදාව), ආලෝකා දිසානායක (මහනුවර උසස් බාලිකා විදුහල), දිල්හාරි කවිෂා (ගාල්ල ශ්‍රී හෘදයා කන්‍යාරාමය), සුසිමා බණ්ඩාර (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල, මෙලානි විජේසිංහ (කොළඹ විශාඛා විදුහල), නෙත්මි මධුෂි (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල),
 නිමේෂා නිර්මාණි (නාවික හමුදාව), ගන්‍යා සේනානායක (කොළඹ කාන්තා විදුහල), හසේමා දිසානායක (ගුවන් හමුදාව).

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් සංචිතයට ක්‍රීඩිකාවන් 20 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.