Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සහතිකයක ප්‍රශ්නයකින් මේසපන්දු නිලවරණය වැට උඩ

සහතිකයක ප්‍රශ්නයකින් මේසපන්දු නිලවරණය වැට උඩ

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලැබ සිටින ලලිත් ලියනගේ මහතාට නිලවරණයට සහභාගි වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව නිලවරණ කමිටුවේ සභාපති ජී.ජී. වීරක්කොඩි මහතා ‘ලංකාදීප’යට පැවැසීය.

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලවරණය සඳහා ඉදිරිපත්ව තිබූ නාමයෝජනා විවෘත කිරීම, විරෝධතා බාරගැනීම සහ විරෝධතා විභාග කිරීම ඉකුත් සෙනසුරාදා (6 වැනිදා) පැරණි ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේදී සිදු කෙරිණ. එහිදී ලියනගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේසපන්දු තරගවලට සහභාගි වූ බව සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ සහතිකයක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත විය. එහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීම සඳහා එම සහතිකය ක්‍රීඩා අමාත්‍යංශයේ නීති අංශයට යොමු කිරීමට නිලවරණ කමිටුව පියවර ගත්තේය.

එම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වීරක්කොඩි මහතා කියා සිටියේ ඊයේ (8 වැනිදා) පස්වරුව වන තුරුත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් තමන්ට කිසිදු උපදෙසක් නොලැබුණ බවත්, අවශ්‍ය උපදෙස් ලැබුණ විගස නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයන් දෙදෙනා සමග සාකච්ඡා කර ලියනගේ මහතාට නිලවරණයට සහභාගි වීමට අවසර ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබාදෙන බවත්ය.

කෙසේ වුවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිලවරණ කමිටුව අවසන් තීරණයක් ලබාදෙන තුරු මේසපන්දු සංගමයේ මහ සභා රැස්වීම පැවැත්වීම සඳහා දිනයක් යොදාගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබේ.

නිලවරණය සඳහා ඉදිරිපත් වී ඇති නාමයෝජනා සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමදී ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් කසුන් විතාන මහතා පවසා සිටියේ සභාපති ධූරය හැරෙන්නට සංගමයේ සෙසු තනතුරු සඳහා මේ වන විටත් නිලධාරීන් නිතරගයෙන් පත්ව සිටින බවයි. ඒ සඳහා නාමයෝජනා එකකට වඩා ඉදිරිපත් වී නොතිබීම ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේය. මතභේදයට තුඩුදුන් ලලිත් ලියනගේ මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගතහොත් සභාපති ධූරය සඳහා මන්සිල් මුතාලිෆ් මහතා නිතරගයෙන් පත්වන බවද හෙතම කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කසුන් මහතා කියා සිටියේ සංගමයේ ව්‍යවස්ථාවට අනුව උප සභාපති ධූර 8 ක් සඳහා නිලධාරීන් තෝරාපත් කරගත යුතු වුවත්, ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයන් 7 දෙනෙක් පමණක් බවයි. සභාපති ධූරය සඳහා ඉදිරිපත්වී සිටින මන්සිල් මුතාලිෆ් මහතාද උප සභාපති ධූරයක් සඳහා නාමයෝජනා ඉදිරිපත් ඇති නිසා නිලවරණයට පෙර ඔහු එම නාමයෝජනාව ඉවත්කර ගතහොත් උප සභාපති ධූර 2 ක් සඳහා පුරප්පාඩු ඇතිවන බවද කසුන් මහතා පැවසීය.


මේසපන්දු සංගමයේ නිලවරණය (2018-2019) සඳහා ඉදිරිපත්වී ඇති නාමයෝජනා

■    සභාපති - මන්සිල් මුතාලිෆ් (සඹරගමුව පළාත් මේසපන්දු සංගමය) සහ ලලිත් ලියනගේ (ටිබා මේසපන්දු ක්‍රීඩා සමාජය)
■    උප සභාපතිවරු - චම්පා ද සිල්වා (ටිබා මේසපන්දු ක්‍රීඩා සමාජය), මන්සිල් මුතාලිෆ් (සඹරගමුව පළාත් මේසපන්දු සංගමය), මධුෂානි පෙරේරා (රාජ්‍ය සේවා මේසපන්දු සංගමය), සංජීව පල්ලෙගෙදර (නුවරඑළිය දිස්ත්‍රික් මේසපන්දු සංගමය), එම්.එස්. කෝදාගොඩ (ස්ටැග් මේසපන්දු ක්‍රීඩා සමාජය), ප්‍රභාත් නිමේෂ් (ක්‍රීඩා භූමි සංවර්ධන මේසපන්දු ලීගය) සහ චමින්ද රොෂාන් (පාසල් මේසපන්දු සංගමය)
■    ලේකම් - චන්දන ශ්‍රීනාත් (නුගේගොඩ මේසපන්දු ක්‍රීඩා සමාජය)
■    සහකාර ලේකම් - එරාන් සම්පත් (සඹරගමුව මේසපන්දු සංගමය)
■    භාණ්ඩාගාරික - වරුණ නිලංග (නුගේගොඩ මේසපන්දු ක්‍රීඩා සමාජය)
■    උප භාණ්ඩාගාරික - රවින්ද්‍ර ඒකනායක (වැල්ලවත්ත මේසපන්දු ක්‍රීඩා සමාජය)

 


අදහස් (0)

සහතිකයක ප්‍රශ්නයකින් මේසපන්දු නිලවරණය වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.