Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නාමයෝජනා විවෘත කිරීම ඉකුත් සෙනසුරාදා (6 වැනිදා) පැරණි ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේදී පැවැති අතර සභාපති ධූරය සඳහා මන්සිල් මුතාලිෆ් සහ ලලිත් ලියනගේ යන මහත්වරු නාමයෝජනා ඉදිරිපත් කර තිබිණ. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ හිටපු උප සභාපතිවරුන් දෙදෙනකු වන අතර මුතාලිෆ් මහතා හිටපු මේසපන්දු ක්‍රීඩකයකුද වේ.
ඉදිරිපත් වී තිබූ නාමයෝජනා සඳහා විරෝධතා බාරගැනීම සහ එම විරෝධතා විභාග කිරීමද එදිනම පැවැති අතර එහිදී ලලිත් ලියනගේ මහතාට එරෙහිව විරෝධතාවක් ඉදිරිපත් විය. එහෙත් එම විරෝධතාවයට යොදා තිබූ දිනය පැරණි දිනයක් (අගෝස්තු මස 24 වැනිදා) වීම හේතුවෙන් එහි වලංගු භාවය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත විය.
අවසානයේදී ලියනගේ මහතාට සංගමයේ සභාපති ධූරයට තරග වැදීමට අවශ්‍ය සුදුසුකම් තිබේ දැයි සොයා බැලීම සඳහා ඔහු ඉදිරිපත් කළ සහතිකයක් ක්‍රීඩා අමාත්‍යංශයේ නීති අංශයට යොමු කිරීමට නිලවරණ කමිටුව පියවර ගත්තේය.
ක්‍රීඩා පනතට අනුව යම් සංගමයක සභාපති ධුරය සඳහා තරග වැදීමට නම් අදාල පුද්ගලයා එම ක්‍රීඩාවේ නිරත වූවකු බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. එසේ කිරීමට ඔහු අපොහොසත් වන්නේ නම් ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුවට බලයක් තිබේ.
තමා මේසපන්දු ක්‍රීඩාවේ නිරත වූවකු බවට ඔප්පු කිරීම සඳහා ලලිත් ලියනගේ මහතා සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇත්තේ සිය පාසලේ අන්තර් නිවාස මේසපන්දු තරගාවලියකට සහභාගි වූ බවට ලැබුණු සහතික කිහිපයක් සහ 2017 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර මේසපන්දු තරගාවලියකට සහභාගි වීම සඳහා ලැබූ සහතිකයකි.
එම තරගාවලියේදී ලැබූ සහතිකය තමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලබාගත් සහතිකයක් බවට ලියනගේ මහතා තොරතුරු ඉදිරිපත් කර තිබුණද, එම තරගාවලියට ඔහු ඉදිරිපත් වී ඇත්තේ තමා සභාපතීත්වය දරන ස්ටැග් මේසපන්දු ක්‍රීඩා සමාජය නියොජ්නය කරමින් බව මේ වන විටත් අනාවරණය වී තිබේ. ලියනගේ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතාව ප්‍රවීනයන්ගේ මේසපන්දු සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබූ විරෝධතාවක් වීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.
ප්‍රවීන මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුගේම අත්සන් සහිතව ඉදිරිපත් වූ එම විරෝධතාවයේ සඳහන් වී තිබුණේ ක්‍රීඩා පනතට අනුව ලියනගේ මහතාට ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපති ධූරය සඳහා තරග වැදීමට සුදුසුකම් නොමැති බවයි.
ප්‍රවීනයන්ගේ මේසපන්දු සංගමය වෙනුවෙන් එම සංගමයේ සභාපති මොහොමඞ් ලෆීර් මහතා සමග ජී.එන්. ලූකස්, එන්.එච්. පෙරේරා, ප්‍රියංගනී ජයසුන්දර සහ දයා සමරවීර යන මහත්ම මහත්මීන් එම විරෝධතා ලිපියට අත්සන් තබා තිබිණ. විරෝධතාව සම්බන්ධයෙන් සභාපති ලෆීර් මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු මෙසේ කියා සිටියේය.
“අපිට කාත් එක්කවත් පෞද්ගලික අමනාපයක් නැහැ. අපි කැමති මේ ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාව දියුණු කරන්න පුලුවන් කෙනෙක් සංගමයේ සභාපති වෙනවටයි. ලලිත් ලියනගේ මහත්මයාට ඒ තනතුරට ඉදිරිපත් වෙන්න අවශ්‍ය සුදුසුකම් නැහැ. එයා මේසපන්දු ක්‍රීඩා කරපු කෙනෙක් නෙමෙයි.”
“එයා ශ්‍රී ලංකාව නියෝජනය කරලා ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වුණා කියන එකත් වැරදියි. ඔය කියන ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර මේසපන්දු තරගාවලිය සංවිධානය කළේ අපේ සංගමයෙන්. ඒකට ලංකාවේ ඕනෑම ප්‍රවීන ක්‍රීඩකයකුට සහභාගි වෙන්න අපි අවස්ථාව ලබාදුන්නා. ලලිත් ලියනගේ කියන්නේ ඒ තරගාවලියට සහභාගි වුණ තවත් එක තරගකරුවෙක් විතරයි. එයා එක තරගයක්වත් ජයග්‍රහණය කළේ නැහැ. එයාට තියෙන්නෙ සහභාගි වුණ එකට ලබා දෙන සහතිකයක් විතරයි.”
“ඒකයි සංගමයක් විධියට අපි තීරණයක් ගත්තේ එයාට එරෙහිව විරෝධතාවක් ඉදිරිපත් කරන්න. අපිට ඕනෙ නියම සුදුසුකම් තියෙන පුද්ගලයෙක් සංගමයේ සභාපති වෙනවා දකින්න විතරයි. එත් විරෝධතාව පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා වෙනුවට නිලවරණ කමිටුව කළේ දිනය වැරදි කියලා අපේ විරෝධතාව ප්‍රතික්ෂේප කරපු එකයි. ඒ ගැන අපි කණාගාටු වෙනවා.” යැයි ලෆීර් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මේසපන්දු සංගමයේ නිලවරණය පැවැත්වීම සඳහා නම් කරන ලද ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කොළඹ මහ නරග සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරයකු වන ජී.ජී. වීරක්කොඩි මහතා කටයුතු කරයි. ජතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයකු ලෙස චන්දන ලියනගේ මහතාද, ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයකු ලෙස සුභානි උඩවත්ත මහත්මියද නිලවරණ කමිටුවට ඇතුළත්ව සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.