Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සෙරීනා අන්දමන්ද කළ කේබර් සිහිනය සැබෑකරගනි

සෙරීනා අන්දමන්ද කළ කේබර් සිහිනය සැබෑකරගනි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

3360


ග‍්‍රෑන්ඩ් ස්ලෑම් විවෘත තරගබිමේ වැඩිම ශූරතා ගොන්නක් දිනා ගනිමින් ජර්මනියේ හිටපු විශිෂ්ට කී‍්‍රඩිකා ස්ටෙෆී ග‍්‍රාෆ් තැබූූ ශූරතා 22 ක වාර්තාව සමකිරීමට සූදානම් වූ නොම්මර එකේ කී‍්‍රඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට මෙවර  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා අවසන් මහා තරගයේ දී තම සිහිනය සැබෑ කරගැනීමේ වාසනාව තිබුණේ නැත.

සිය පළමු ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරගයට එක්වූ ජර්මනියේ ඇන්ජෙලික් කේබර් වාර්තා පිට වාර්තා තබමින් ලකුණු 6-4 ක්, 3-6 ක් සහ 6-4 ක් ලෙස තරගය ජයගනිමින් ඇගේ ටෙනිස් දිවියේ වීරවරිය වූ ස්ටෙෆී ග‍්‍රාෆ්ගේ වාර්තාව තවත් මාස කිහිපයකට රැකගත්තේ සෙරීනා අන්ද මන්ද කරමිනි.

මෙල්බර්න් නුවර රොඞ් ලීවර් පිටියේ පැවැති මේ තරගය බැලීමට පැමිණ සිටි කවුරුත් සිතුවේ ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි තැන සිටි මේ ජර්මානු කෙල්ල හමුවේ සෙරීනාට ඇති සටනක් නැති බවකි.

පළමු වතාවට ග‍්‍රෑන්ඞ් ස්ලැම් තරගාවලියක අවසන් මහා තරගයට පිවිසීමේ චකිිතය කෙනකුගේ කී‍්‍රඩා රටාව උඩුයටිකුරු කරවීමට තරම් සමත් එකක් බැව් කවුරුත් දනිති. අනික් අතට මීට පෙර ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරග 25 කට එක්වී සෑහෙන පළපුරුද්දක් ලබා සිටි සෙරීනා පරාජයට පත්වී තිබුණේ අවසන් මහා තරග 4 ක් පමණි.

එහෙත් සිදුවූයේ අනිකකි.

මේ 28 හැවිරිදි ජර්මානු වමත් කි‍්‍රඩිකාව තරගයේ ආරම්භයේ සිටම සෙරීනාට තම හැකියාවේ දිග පළල පෙන්වා දුන් අතර පළමු වටය ජයගත්තාට පසුව දෙවැනි වටයේ දී තව තවත් සටන්කාමී ස්වරූපයක් පෙන්නුම් කළාය. සෙරීනා ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගයක පළමු වටය පරාජයට පත්වූයේ 2011 අමෙරිකානු විවෘත තරගාවලියෙන් පසුවය.

මීට පෙර සෙරීනා සමග තරග 6 කට එක්වී සිටි කේබර් ඉන් ජය ලබා තිබුණේ එක් තරගයකින් පමණි. එහෙත් ඊයේ රොඞ් ලීවර් පිටියේ දී පැය දෙකකුත්, මිනිත්තු 8 ක් පුරා ඇදී ගියේ මේ තරගය එහෙම පිටින්ම තම අණසකට නතුකර ගැනීමට කේබර් සමත්වූවාය.

වසර 1999 ස්ටෙෆී ග‍්‍රාෆ් ප‍්‍රංශ විවාත ටෙනිස් කිරුළ දින්නාට පසුව ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළක් දිනූ පළමු ජර්මානු කී‍්‍රඩිකාවද කේබර්ය.  

”මේක මගේ හීනයක් හැබෑවීමක්. මුලූ ජීවිත කාලයේම මම උත්සාහ කළේ මේකට තමයි” යයි ජයග‍්‍රහණයෙන් පසුව කේබර් සතුටු කඳුලූ වගුරුවමින් කීවාය.

”මේ සති දෙක පුරාම මගේ දස්කම් ඉහළ පහළ දෝලනය වෙමිනුයි තිබුණේ”
”මේ තරගාවලියේ මගේ පළමු තරගයේදීම මුල් වටය පරාජය වෙලා දෙවැනි වටය ආරම්භ කරන්න කළින් මම හිටියේ හරියට ආපහු ජර්මනිය බලා යන්න ගුවන්යානයට එක් අඩියක් තබාගෙන වගෙයි” කේබර් කීවාය.

”ඒත් මෙන්න මං දැන් සෙරීනා පරද්දලා ශූරතාව දිනගෙන. හිතාගන්නත් අමරුයි වගේ” ඇය සතුටින් කෑගසන්නීය.

 ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ ජයගැනීමත් සමග ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන අත්පත් කරගැනිමට ද කේබර් සමත්වූවාය. එය ඇගේ වසර 14 ක ටෙනිස් දිවියේ ලැබූ ඉහළම ශ්‍රේණිගත ස්ථානයයි.

මුල් වතාවට ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක අවසන් මහා තරගයකට එක්වෙමින් පසුගිය වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනූ ඉතාලියේ ෆ්ලේවියා පනේටාගෙන් පසුව එවැනි හපන්කමක් කළ දෙවැනි කී‍්‍රඩිකාව කේබර්ය.

ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 21 ක්ම ඔසවා පළපුරුද්දක් ඇති සෙරීනා ඊයේ කේබර් කුසලානය අතට ගන්නා හැටි බලා සිටි අතර හිනැහෙමින් අත්පොලොසන් දුන්නාය. ඇය කේබර් සිප වැළඳ සුබ පැතීමට අමතක නොකළ අතර ඇගේ කණට කොඳුරා මෙසේ ද කියා තිබිණි.

”ඇන්ජි, මගේ සුබපැතුම්... ඔයා මේ කිරුළට හොඳම අයිතිකාරයා. ඔයා ගැන මට හරිම සතුටුයි” යයි සෙරීනා කේබර්ට කීවාලූ.

ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ සිවුවතාවක් දිනා ඇති හිටපු කී‍්‍රඩිකා ඉවෝන් ගූලගොන්ගෙන් තමන්ට හිමි රිදී පළග ලබා ගත් සෙරීනා තරගයේ පරාජය ගැන මාධ්‍යවේදීන් අසා සිටි මොහොතේ මෙසේ කීවාය.

”මම රොබෝ කෙනෙක් නෙවෙයි. මට පුලූවන් දේ තමයි මම කරන්නේ”
”හැමතිස්සෙම මම දිනන්නයි උත්සාහ කළේ. ඒත් මේ තරගයේ හැම ලකුණක්ම අයිති කරගන්න උත්සාහ කළත්, යථාර්ථය නම් මට ඒ දේ කරන්න බැරිවීම සහ වෙන කෙනෙක් ඒ දේ කිරීමයි”

ත්‍යාග ප‍්‍රදානයේදි ඇය ශූරතාවට හිමිකම් කී කේබර්ට වඩා සතුටින් සිටි බවක් පෙනෙන්නට තිබුණා යයි මාධ්‍යවේදියකු ඇයට කීවේය.

”ඇත්තද..? එහෙනම් මම ර`ගපාන්න පටන් ගන්න  ඕනා” ඇය හිනැහෙමින් එසේ පැවසුවාය.

ස්ටෙෆී ග‍්‍රාෆ්ගේ වාර්තාව සම කිරීමට සෙරීනා විලියම්ස් අසමත්වුණු දෙවැනි වතාව මෙයයි. ඊට පෙර පසුගිය වසරේ අමෙරිකානු විවෘත තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඇය රොබේටා වින්සි හමුවේ  පරාජයට පත්වූවාය.


- 077

 


අදහස් (0)

සෙරීනා අන්දමන්ද කළ කේබර් සිහිනය සැබෑකරගනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.