Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සෙරීනා බින්දුවෙන් පටන් ගනී

සෙරීනා බින්දුවෙන් පටන් ගනී

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්‍රෑන්ඞ් ස්ලෑම් විසිදෙකේ ලෝක වාර්තාව සමකිරීමක් ගැන සිතෙහි කිසිදු හැඟීමක් නැතැයි ලෝක කාන්තා ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පවසන්නීය.


වසරේ පැවැත්වෙන ග්‍රෑන්ඞ් ස්ලෑම් ඉසව් හතරෙන් වැඩිම අවධානය දිනාගන්නා විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ මූලික වටයේ දී ස්විට්සර්ලන්තයේ අම්රා සැඩිකොවික් පරදවා දෙවැනි වටයට පිවිසි සෙරීනා මෙවර  සිය 22 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ අත්පත් කරගනු ඇතැයි අනාවැකි පළවන්නට පටන්ගත්තේ ඇය ලන්ඩනයට පැමිණීමටත් පෙර සිටමය. එහෙත් එවැනි අනාවැකි බොහෝ විට නිවැරැදි නොවන බැව් ක්‍රීඩාලෝලීන් කෙසේ වෙතත් සෙරීනා නම් හොඳහැටි දන්නීය.


දහසක් බලාපොරොත්තු කරපින්නාගෙන පසුගියදා ඇය පැරිස් නුවරට ගියේත් 22 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ අත්පත් කරගැනීමටය. එහෙත් එවර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤයේ ගාබීන් මුගුරූසා හමුවේ ඇය ලද ලකුණු 7-5ක සහ 6-4ක ලජ්ජාශීලී පරාජය ක්‍රීඩාලෝලීන්ගේ මෙන්ම සෙරීනාගෙත් නළල රැළි ගැන්වූ එකකි.


කාන්තා ටෙනිස් පිටියේ වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩිකාව ලෙස වාර්තාපොතේ සිටින්නේ ජර්මනියේ ස්ටෙෆී ග්‍රාෆ්ය. ඇය දිනාගත් ශූරතා 22 වාර්තාව බිඳ දැමීමට සමත් එකම ක්‍රීඩිකාව ලෙස කවුරුත් කියන සෙරීනාට මෙවර විම්බල්ඩන් ශූරතාවලියේ දී එය කළ හැකි වනු ඇතැයි බොහෝ දෙනා කියති. කවුරුන් කෙසේ ඒ ගැන කීවත් ඇගේ පුහුණුකරු ඒ ගැන වචනයක්වත් කියන්නේ නැතිවීමත් විශේෂත්වයකි.


“අපි ආපහු බිංදුවේ ඉඳලා පටන් ගන්නයි කල්පනාව...” සෙරීනාගේ පුහුණුකරු පැටි්‍රක් මොරටොග්ලු එසේ කීවේ ශූරතා විසිදෙකේ වාර්තාව එහෙම පිටින්ම අමතක කරමිනි.


“අපිට ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. අපිට ග්‍රෑන්ඞ් ස්ලෑම් එකක් දිනන්න තියෙනවා. එච්චරයි. ඒක තමා වැදගත් දේ. ඒක වාර්තාවක් ද නැද්ද කියන එක නෙවෙයි වැදගත්” ඔහු එසේ කියයි.


කෙසේවුවත් ස්විට්සර්ලන්තයෙන් පැමිණි ශ්‍රේණිගත කිරීම්වල 148 වැනි තැන සිටින අම්රා හමුවේ ජයගැනීමට සෙරීනාට තරමක් වෙහෙසවීමට සිදුවීම නම් කාටත් රිස්සුවේ නැත. මේ අම්රාගේ කුලුඳුල් ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලිය වුවත් ඇය සෙරීනාට දුන්නේ ලොකු පීඩනයකි.


“එහෙම තමයි. ඕනෑම තරගාවලියක පළමු වටයේ දී හොඳින් සෙල්ලම් කරන්න ලැබෙන්නේ කලාතුරකිනුයි. ඒක ලොකු දෙයක් නෙවෙයි.” සෙරීනා හිත හදාගත්තේ එලෙසිනි.


මීට පෙර 6 වතාවක්ම විම්බල්ඩන් කිරුළට හිමිකම් කියා ඇති 34 හැවිරිදි සෙරීනා සෙන්ටර් කෝට් හී පැවැති පළමු වටයේ තරගයෙන් ජය ලබද්දී ඇගේ ආදරණීය මෑණියන් සිටියේ රාජකීයයන්ගේ නැරැඹුම් මැදිරියේය.


“ඒක ලොකු හයියක් වුණා. මේ ජයග්‍රහණය මම ඇය වෙනුවෙන් වෙන් කළා” යයි කී සෙරීනා....


තරගයෙන් පසුව මුලින්ම කළේ රජකීයයන්ගේ කුටියේ සිට තරගය නරඹමින් සිටි සිය මවට ආචාරය පුද කිරීමය. එය විම්බල්ඩන් ශූරතාවලියේ කලාතුරකින් දක්නට ලැබුණු සිදුවීමක් බව පසුව කවුරුත් කියන්නට වූහ.

 

 

- 077


අදහස් (0)

සෙරීනා බින්දුවෙන් පටන් ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.