Last Update  :  2025-01-02 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Paris Olympic 2024 පදක්කමක් දිනාගන්න තව කල් තිබෙනවා
පැරිස් ඔලිම්පික් - 2024

පදක්කමක් දිනාගන්න තව කල් තිබෙනවා

editorial - 2024 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(නාමල් පතිරගේ  ප්‍රංශයේ  පැරිස් නුවර සිට)

”පැරිස් ඔලිම්පික්  නිර්දේශ  වුණු දවසේ මම හොදටම සතුටු වුණා. නමුත් ඔලිම්පික්  පදක්කමක් ගැන මට හිතන්න වෙන්නේ දෙවනුවයි.පැරිස්  වලදී මගේ පළමු අරමුණ  ඉසව්වේ වේගය හදා ගන්නයි.දෙවනුව ඉසව්වේ  දෙවැනි වටයට  එන්න බලාපොරොත්තු  වෙනවා.අපි පදක්කමක් ගැන ලබන පාර ලොස් ඇන්ජලීස් (2028) ඔලිම්පික්  උළෙලේදී හිතමු.” ශ්‍රී  ලංකා මැදි දුර ධාවන ශූරී තරුෂි දිල්සරා කරුණාරත්න  පැරිස්  නුවර පෙර පුහුණුවීම්  අතරතුරදී ලංකාදීපයට එසේ පැවසුවාය.

තරුෂි  එසේ අදහස් දැක්වූයේ  පැරිස්  ඔලිම්පික්  උළෙලේ  හෙට (1) ආරම්භ වන මලල ක්‍රීඩා තරගාවලියේ අනිද්දා (2) ඇය තරග වදින මීටර් 800 (කාන්තා) ඉසව්වේ සහභාගිත්වය පිළිබඳව අදහස් දක්වමිණි.

ලොව පුරා රටවල  ක්‍රීඩක ක්‍රීඩිකාවන්  1810 දෙනෙකුගේ  සහභාගිත්වයෙන් අගෝස්තු 11 වැනිදා දක්වා පැරිස්  ඔලිම්පික්  මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වේ. එහිදී රන්, රිදී හා ලෝකඩ පදක්කම් 48 ක් බැගින් කාන්තා හා පිරිමි ඉසව්හි තෙවැනි ස්ථානය දක්වා පිරිනැමෙති.

අනිද්දා (2) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.15 ට (ප්‍රංශ වේලාවෙන් රාත්‍රී 7.45) තරුෂි මීටර් 800 (කාන්තා) ඉසව්වේ  මූලික  වටයට සහභාගි වීමට නියමිතය.ඒ සදහා ඇය වඩාත් පෙර සූදානමකින් පසු වන බව ඇගේ පුහුණුකරු සුසන්ත  ප්‍රනාන්දු  මහතා පැරිස් නුවරදි අද පැවසීය.

තරුෂි  පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  ලබා ගත්තේ  මීටර් 800 (කාන්තා) ඉසව්වේ ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙනි.ඒ සදහා තරග වැදීමෙන් කෙළින්ම නිර්දේශ  ලබා ගත් ක්‍රීඩිකාවන්  ගණන 33 කි. සෙසු ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ශ්‍රේණිගත ලකුණු හා පංගු ක්‍රමයෙන් පැරිස්  ඔලිම්පික්  නිර්දේශ ලබා තිබේ.

මෙම 21 හැවිරිදි  ශ්‍රී  ලාංකික  ක්‍රීඩිකාව කෙරෙහි  වඩාත්ම අවධානය යොමුවී ඇත්තේ ඇය මේ වනවිට ආසියානු  ශූරතා හා ආසියානු  ක්‍රීඩා ඉසව්වේ රන් පදක්කම්ලාභීණිය ලෙස පැරිස්  ඔලිම්පික් තරග වැදීමයි.

මෙහි ඇගේ මෙතෙක් හොදම දක්ෂතාවය  විනාඩි 2 තත්පර 00.66 කි.මෙය 2023 බැංකොක් ආසියානු ශූරතා ඉසව්වේ තරග වාර්තාවද වේ.

මේ අතර මෙම ක්‍රිඩිකාව  පැරිස් ඔලිම්පික්  සහභාගිත්වයෙන්  පසුව වැඩිදුර අධ්‍යාපන හා පුහුණු කටයුතු හැදෑරීම සදහා ඇමරිකාව බලා පිටත්ව යාමට සැළසුම් කර ඇතැයිද වැඩිදුරටත්  වාර්තාවේ.

කෙසේවූවත් ඒ සදහා  මෙතෙක්  දින නියම කර ගැනීමක් සිදු කර නැතැයි පුහුණුකරු  සුසන්ත ප්‍රනාන්දු  මහතා පවසයි.තරුෂි  ආසියානු ශූරතා තරග  වාර්තාව පිහිටුවමින් රන් පදක්කම පසුගිය වසරේදී දිනා ගන්නාවිට වලල ඒ රත්නායක  මධ්‍ය මහ විදුහලේ ඉගෙනුම ලබමින් සිට් පාසල් ශිෂ්‍යාවක් වීම කැපී පෙණුනි.

තරුෂි වසරක කාලයක් තුළදී ආසියානු ශූරතා, ආසියානු  ක්‍රීඩා, ආසියානු  කනිෂ්ඨ යන ජාත්‍යන්තර  තරගාවලි තුනකදී  මීටර් 800 හා 400   (කාන්තා), මීටර් 400 ඥා 4 (කාන්තා) හා එහි මිශ්‍ර  සහය දිවීම යන ඉසව් වෙතින් රන් පදක්කම්  හතරක් රිදී  පදක්කම් තුනක් හා එක් ලෝකඩ  පදක්කමක් දිනා ගැනීමට සමත් වීමෙන් පසුගිය කාලය පුරා ජාත්‍යන්තරව ඉහළම  අවධානයක් දිනා ගැනීමට සමත් වූවාය.

පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබන විට ඇය ඉසව්වේ ලෝක ශ්‍රේණිගත  කිරීම් අනුව 44 වැනි ස්ථානයේ  පසුවූවාය.

මීට පෙර ඔලිම්පික් මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී  ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකු මිටර් 800 (කාන්තා) ඉසව්වේ  තරග වැදී තිබේ. ඒ අතරින් 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේදී ධම්මිකා මැණිකේ මූලික වටයේදී විනාඩි 2 තත්පර 03.85ක දක්ෂතාවයක්ද හා ගියවර ටෝකියෝ (2020) ඔලිම්පික් උළෙලේදී නිමාලි ලියනආරච්චි විනාඩි 2 තත්පර 10.23 ක දක්ෂතාවයක්ද දක්වා තිබේ.

පැරිස්  ඔලිම්පික්  මලල ක්‍රීඩා තරගාවලියට සභභාගිවී සිටින ශ්‍රී  ලංකා මීටර් 400 ක්‍රීඩක  අරුණ දර්ශන  හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ පිළිවෙලින් අගෝස්තු 4 හා 7 යන දිනවලදී සිය ඉසව්හි මූලික තරග සදහා සභභාගිවීමට නියමිතය.තරුෂි  සහභාගි වන මීටර්  800 ,(කාන්තා) ඉසව්වේ අවසන් වටය  අනිද්දා (3) පැවැත්වේ.

මේ අතර ලෝක මලල ක්‍රීඩා ආයතනය  නිවේදනය  කර ඇත්තේ මලල  ක්‍රීඩා රන් රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ට ඔලිම්පික්  ඉතිහාසයේ  පළමු වතාවට ඩොලර් 50000 සිට මුදල් තෑගි ප්‍රදානය කරන බවයි.
            
කෙසේවූවත් පැරිස් ඔලිම්පික් සඳහා සහභාගිවී සිටින රටවල් 206 කින් 33 ක් මේ දක්වා සිය  සියළු ක්‍රීඩා ඉසව් පදක්කම්ලාභීන්ට මුදල් තෑගි ප්‍රදානය කරන බව නිවේදනය කර තිබේ. එහිදී ඇමරිකාව රන් පදක්කම්ලාභීයෙකුට ඩොලර් 37000 ක් ප්‍රදානය කරන අතර සිංගප්පූරුව නිවේදනය කර ඇත්තේ සිය රටේ පැරිස්  ඔලිම්පික් රන් පදක්කම්ලාභීයෙකුට සිංගප්පූරු  ඩොලර් මිලියනයක් ප්‍රදානය කරන බවයි.

තරුෂි කරුණාරත්න අද පැරිස් නුවරදී සිය පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා සමග පෙර පුහුණුවීම් වලට සහභාගිවී සිටි අයුරු...


අදහස් (2)

පදක්කමක් දිනාගන්න තව කල් තිබෙනවා
  • H p b p h pathirana Thursday, 01 August 2024 09:14 AM

    රන් පදක්කම මේ පාර අරන්ම එමු මව්බිමට...!

    Reply 0       0

    Rachel Thursday, 01 August 2024 09:54 AM

    අපේ පුන්චි තරුව, පුන්චි තරුෂි රන් පදක්කම ලැබේවා කියල‍‍ා පතනවා. ප්‍රංශයේ අම්මා කෙනෙක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.