Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Paris Olympic 2024 දශක දෙකකට පසුව ශ්‍රී ලංකාව මීටර් 400 ධාවන තරගයට
පැරිස් ඔලිම්පික් - 2024

දශක දෙකකට පසුව ශ්‍රී ලංකාව මීටර් 400 ධාවන තරගයට

editorial - 2024 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට)

මීටර් 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨයෙකු වන අරුණ දර්ශන අනිද්දා (4) පැරිස් ඔලිම්පික් උළෙලේ සිය ඉසව්වේ මූලික වටයට තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා රාත්‍රී 10.35 ට ( ප්‍රංශ වේලාවෙන් 7) පැරිස්  ඔලිම්පික්  මීටර් 400 (පිරිමි) ඉසව්වේ මූලික වටය ආරම්භ වේ.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් මීටර් 400  ඉසව්වෙන් බිහිවූ විශිෂ්ඨතමයා ලෙස සැළකෙන්නේ සුගත් තිලකරත්නය.1998 දී ඔහු ඉසව්වෙන් වාර්තා  කළ තත්පර 44.61 ක කාලය අදටත් ඉසව්වේ ශ්‍රී  ලාංකික ක්‍රීඩකයෙකුගේ හොඳම  දක්ෂතාවයයි. එදා ”විදුලිපුර විදුලි ධාවකයා” ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වූ  සුගත්ගේ මීටර් 400 ඉසව්වේ දක්ෂතාවය 2001 මැන්චෙස්ටර් ලෝක ශූරතා  තරගාවලියේ අවසන් පූර්ව  වටයට නිර්දේශ  ලැබීම තෙක් ඇදී ගියේය.

මීටර් 400 (පිරිමි) ඉසව්වේ සුගත් තිලකරත්න ඇතුළුව දැනට කල් ගෙවන ශ්‍රී  ලාංකික විශිෂ්ඨතම ක්‍රීඩකයන් අට දෙනාට ඇතුළත් වන අරුණ දර්ශන 2004 ඇතැන්ස් ඔලිම්පික්  උළෙලෙන් පසුව එම ඉසව්වට නිර්දේශ  ලබා ගත් පළමු ශ්‍රී  ලාංකික ක්‍රීඩකයායි.  අවසන් වරට 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලට  මීටර් 400 (පිරිමි) ඉසව්වෙන් තරග වැදුණු ශ්‍රී  ලංකා ක්‍රීඩක රොහාන් ප්‍රදීප් කුමාර එහිදී මූලික  වටයේ තරග වදිමින් තත්පර 46.20 ක දක්ෂතාවයක් පළ කර තිබේ.

අරුණ දර්ශන පැරිස්  ඔලිම්පික්  තරග වැදීමේ සූදානම ගැන ලංකාදීපය කළ විමසුමකදී පැවැසුවේ සිය පළමු උත්සහය දෙවැනි වටයට පිවිසීම බව පැවැසීය.

අරුණ පැරිස් ඔලිම්පික්  නිර්දේශ  ලබා ගන්නාවිට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉසව්වේ 46 වැනි ස්ථානයේ පසු විය.ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් අවසන් මොහොතේදී නිර්දේශ ලබා ගැනීමත් සමග වූ විශේෂිතම සිදුවීම වූයේ අවසන් උත්සහය  ලෙස පංගු (වයිල්ඞ් කාඞ්) ක්‍රමයෙන් නිර්දේශ ලබා ගැනීමට ප්‍රයන්ත දැරූ මීටර් 100 ක්‍රීඩක යුපුන් අබේකෝන්ට පැරිස්  ඔලිම්පික්  අවස්ථාව අහිමිවීමයි.ඒ ශ්‍රී  ලංකාවෙන් ක්‍රීඩකයෙකු  (පිරිමි ඉසව්වකින් සුදුසුකම් මත)නිර්දේශ  ලැබීමත් සමග රටකට පිරිණමන පංගු ක්‍රමය අහෝසි වීමයි.

ආසියානු  ජාත්‍යන්තර  පදක්කම් රැසක්  සිය කේවල  හා සහය දිවීමේ ඉසව් වෙතින් දිනා ඇති  අරුණ 2024 වසරේ දක්ෂතා අතර චීනයේ පැවැති බෙල්ට් - රෝඞ්  මලල  ක්‍රීඩා තරගාවලියේදි තත්පර 45.48 ක දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීම මෙන්ම 2024 තායිවාන් විවෘත මලල ක්‍රීඩා  තරගාවලියේදී තත්පර 45.88 කට රන් පදක්කමත් දිනා ගැනීම කැපී පෙනේ.

අරුණ දර්ශන  සේරුවිල සිංහපුර වීර කැප්පෙටිපොළ  ජාතික පාසලේ ඉගෙනුම  ලබන අවධියේ සිට ඔහුගේ  ක්‍රීඩා පුහුණුවීම් මෙහෙයවූ වත්මන්  පුහුණුකරු අසංක රාජකරුණා මහතා පැරිස් නුවරදී  පැවැසුවේ අරුණ හොද පෙර සූදානමකින් හෙට ඉසව්වට සහභාගි වන බවයි.

මේ වන විට 25 හැවිරිදි වියේ පසු  වන අරුණ දර්ශන ලංකාදීපයට වැඩිදුරටත්  පැවැසුවේ පැරිස්  ඔලිම්පික්  සහභාගිත්වයෙන් පසුව තමා සාග් ක්‍රීඩා උළෙල  අතුළුව ඉදිරි ජාත්‍යන්තර  තරග ඉලක්ක කරමින් පුහුණුවීම්  අඛණ්ඩව ඉදිරියට  පවත්වා ගෙන යන බවයි.

ශ්‍රී  ලංකා  මීටර් 800 ක්‍රීඩිකා තරුෂි  කරුණාරත්න ඊයේ (2) ශ්‍රී  ලංකා වේලාවෙන්  රාත්‍රී 11.15 ට ආරම්භවීමට නියමිතව තිබූ ඉසව්වේ  මූලික වටයට  සූදානම්ව සිටියාය.ශ්‍රී  ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ  එහි මූලික තරග  වටයට  සභභාගි වන්නේ අගෝස්තු 7 වැනිදාය.

එයින් පසුව ශ්‍රී ලංකාවේ පැරිස්  ඔලිම්පික්  සහභාගිත්වය  අවසන් වේ.  අරුණ  දර්ශන  තරග වදින මීටර්  400 (පිරිමි) ඉසව්වේ මූලික තරග වට මෙය සටහන් කරන මොහොත  වන විටත් නිල වශයෙන් පෙළ ගස්වා නොතිබුණි.          


අදහස් (0)

දශක දෙකකට පසුව ශ්‍රී ලංකාව මීටර් 400 ධාවන තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.