Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Paris Olympic 2024 අරුණ හෙට තීරණාත්මක ධාවනයක
පැරිස් ඔලිම්පික් - 2024

අරුණ හෙට තීරණාත්මක ධාවනයක

editorial - 2024 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට)

පැරිස් ඔලිම්පික්  අවසන්  පූර්ව  වටයේ සිය පළමු ඉලක්කය 2025 ටෝකියෝ ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ තහවුරු කර ගැනීම බව ශ්‍රී ලංකා මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන  ලංකාදීපයට පැවසීය. පැරිස්  ඔලිම්පික්  මීටර්  400 (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව  වටයට නිර්දේශ  ලැබීමෙන් පසුව ලංකාදීපයට වැඩිදුරටත්  අදහස් දැක්වූ අරුණ පැවැසුවේ ඒ සදහා  හෙට (6) පැවැත්වෙන අවසන් පූර්ව  තරගය අවම තත්පර 44.85 කට අවසන් කළ යුතු බවයි.

පැරිස්  ඔලිම්පික්  උලෙළේ ඊයේ (4) රාත්‍රීයේදී පැවැති  මලල ක්‍රීඩා මීටර්  400  (පිරිමි) ඉසව්වේ  මූලික වටයේ පස් වැනි තරගයට සහභාගි වූ අරුණ  දර්ශන  එහිදී  තත්පර 44.99 ක දක්ෂතාවයක් දක්වමින් තෙවැනි ස්ථානයට පත්වූයේ හෙට (6) පැවැත්වෙන  එහි අවසන් පූර්ව  වටයට කෙළින්ම  නිර්දේශ  තහවුරු කර ගනිමිණි. 

ශ්‍රී  ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 11.05  (ප්‍රංශ වේලාවෙන් රාත්‍රී 7.35) ට අවසන් පූර්ව වටයේ තරග ආරම්භ වේ. අරුණ එහිදී  අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමට සමත් වන්නේ නම් වසර 2000 (සිඞ්නි) ඔලිම්පික්  උළෙලේදී ශ්‍රී  ලංකා ක්‍රීඩිකා  සුසන්තිකා  ජයසිංහගෙන් පසුව ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වක අවසන් තරගයකට තේරෙන පළමු ශ්‍රී  ලාංකිකයා බවට ඔහු පත් වේ.

සුසන්තිකාගෙන් පසුව ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වක අවසන් පූර්ව  වටයකට නිර්දේශ ලබා ගත් පළමු ශ්‍රී  ලාංකිකයා බවටද අරුණ මේ වනවිට පත්ව සිටියි. මීටර් 400 ඉසව්වේ ශ්‍රී  ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතමයා ලෙස සැළකෙන සුගත් තිලකරත්න වසර 2000 සිඞ්නි ඔලිම්පික්  උළෙලේදී මූලික වටයෙන් පසුව (තත්පර 45.48) දෙවැනි වටයේ තරගයකටද (තත්පර 45.54) කටද සහභාගිවී තිබේ.

කෙසේවූවත් එම අවස්ථාවේදී මීටර් 400 (පිරිමි) ඉසව්වේ  මූලික වටය සදහා  ක්‍රීඩකයන් 71 දෙනෙකු සහභාගිවී තිබේ. ඒ හේතුවෙන් මූලික වටයේ තරග නවයක් හා අර්ධ අවසන් පූර්ව තරග හතරක් පවත්වා අවසන් පූර්ව  වටය පැවැත්වීමට සිදුව තිබේ.

නූතන ඔලිම්පික්  උළෙලේ  මලල  ක්‍රීඩා  ධාවන ඉසව්හි දැන් ඇති කර තිබෙන වෙනස්කම් අනුව මීටර් 400 (පිරිමි) ඉසව්වේ  මූලික වටයේ ඔලිම්පික්  ක්‍රීඩක සහභාගිත්වය  50 කට සීමා කර තිබේ.

මීටර් 400 (පිරිමි) ඉසව්වේ මෙතෙක් ඔලිම්පික්  සහභාගිත්වය නිර්දේශ  කර ගත් සෙසු ශ්‍රී  ලාංකික  ක්‍රීඩකයන් අතර සුගත් තිලකරත්න (1996 - ඇට්ලන්ටා හා 2000 - සිඞ්නි) මෙන්ම රොහාන් ප්‍රදිප් කුමාරද ( 2000 - සිඞ්නි හා 2004 ඇතැන්ස්) ඔලිම්පික්  උලෙළ  දෙකක් බැගින් නියෝජනය  කිරීමේ අවස්ථාව  අත් විද තිබේ.

25 හැවිරිදි අරුණ අද පැවැත්වෙන ඉසව්වේ  අවසන් පූර්ව  වටයේ තරග තුනෙන් දෙවැනි තරගයේ සිව් වැනි මංතීරුවේ ධාවනයට සහභාගි වේ.අවසන් පූර්ව වටයේ තරග තුනේ පළමු හා දෙවැනි ස්ථාන ලබන ක්‍රීඩකයන් හය දෙනෙකු හා අනතුරුව හොදම  වේගය අනුපිළිවෙළින්  වාර්තා කරන ක්‍රීඩකයන් දෙදෙනකුට බදදා (7) පැවැත්වෙන අවසන් තරගයේ අවස්ථාව හිමිවේ.

මීටර් 400 (පිරිමි) ඉසව්වේ  අවසන් තරගය මෙරට වේලාවෙන් යෙදී ඇත්තේ  බ්‍රහස්පතින්දා (8) පාන්දර 12.50 ටයි. එය ප්‍රංශ වේලාවෙන් බදදා (7) රාත්‍රී  9.20ටය.

මූලික තරගයේ ප්‍රතිපලයන්ට  අනුව අරුණ 17 වැනි ස්ථානයේ පසුවේ. බුඩාපෙස්ට්  ලෝක ශූරතාවලියේදී (2023) අරුණ තත්පර  45.70 ක දක්ෂතාවයක් දක්වමින් ඉසව්වේ  34 වැනි ස්ථානය ලබා තිබූ අතර ඔහු පැරිස්  ඔලිම්පික්  ශ්‍රේණිගත  ලකුණු ක්‍රමයෙන් නිර්දේශ  ලබන විට එහි 51 වැනි ස්ථානයේ පසු විය.   

පැරිස් නුවරට පැමිණ සිටින අරුණ  දර්ශනගේ පුහුණුකරු  අසංක රාජ්කරුණා මහතා ලංකාදීපයට මෙසේ පැවැසීය.

”අරුණ  මෙතෙක් ආවේ ලෙහෙසි පහසු ගමනක් නොවෙයි. ඒක  හරිම දුෂ්කර වගේම අපහසුම ගමනක්. මාරම කට්ටක්. කැපිලි  කෙටිළි වලටත් අරුණ  එතනදී මැදි වුණා. කොළඹ  ඉදලම හිතා ගෙන ආවේ අරුණගේ පළමු ඉලක්කය කර ගත යුත්තේ තත්පර 45 ට අඩුවෙන් ඉසව්වේ මූලික තරගය නිමා කර ගත යුතුයි කියලා. 

ඒක ඉෂ්ඨ වුණා. අද අපේ පළමු ඉලක්කය තත්පර 44.85 ට අඩුවෙන් දුවලා 2025 ලෝක  තරගාවලියට නිර්දේශ  ලබන්නයි. ඉතාම දුකෙන් ජීවිතය ජය ගන්න උත්සාහ කරන ක්‍රීඩකයෙකුට අත දෙන්න ලැබුණු එක ගැන මම වඩාත්ම සතුටු වෙනවා.””

අරුණ  දර්ශන  මේ වන විට යුද හමුදාවේ සේවය කරන අතර ඔහු සේරුවිල සිංහපුර ගමේ ඉපදුණු අයෙකි. 

සේරුවිල වීර කැප්පෙටිපොළ විදුහලේ ඉගෙනුම ලබන අතර එහි ක්‍රීඩා හා ශාරීරික අභය්‍යාස පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහුගේ අදත් පුහුණුකරු වී සිටින අසංක රාජකරුණා මහතා දැන හඳුනා ගැනීමෙන් පසුව ඔහු මෙම  ඉසව්ව ප්‍රගුණ කර තිබේ.

අද පැවැති පරාජිතයන්ගේ තරග වටයෙන් හෙට පැවැත්වෙන මිටර් 400 අවසන් පූර්ව වටය සදහා තවත් ක්‍රීඩකයන් හය දෙනෙකු නිර්දේශ කර ගැණුනි.


අදහස් (0)

අරුණ හෙට තීරණාත්මක ධාවනයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.