Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Paris Olympic 2024 ඔලිම්පික් ගිනිසිළුව ප්‍රංශයට සේන්දුවෙයි
2024 පැරීසිය

ඔලිම්පික් ගිනිසිළුව ප්‍රංශයට සේන්දුවෙයි

editorial - 2024 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව රැගත්, 19 වැනි සියවසට අයත් කුඹගස් තුනකින් සමන්විත, ‘බේලිම්’ යාත්‍රාව පසුගිය 8 වැනිදා පැරීසියේ මාර්සේල් වරායට සේන්දු විය. මාර්සේල් වරායෙන් පැරීසියට සම්ප්‍රාප්ත වන ඔලිම්පික් ගිනි සිළුව රැගෙන, පැරීසිය පුරා කිලෝමීටර 12,000 ක (සැතපුම් 7500 ක්) දුරක් දිව යාමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10,000 කට ආසන්න සංඛ්‍යාවක් සූදානමින් සිටිති. 

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ධාවන මාර්ග, පැරීසියට අයත් භූමිසීමා 64 පුරාම පැතිරී තිබෙන අතර මුහුදු සීමාවෙන් එපිට පිහිටි නමුත් ප්‍රංශයට අයත් කැරීබියානු දූපත්වලද, ඉන්දීය සාගරයේ මෙන්ම පැසිපික් සාගරයේ ප්‍රංශයට අයත් දූපත් වලත් පැතිරී තිබේ. ලෝකයේ නගර 450 ක් හරහා මෙම ගිනිසිළුව ගමන් කරනු ඇත. 

අවසානයේදී පැරීසියට ගෙනයනු ලබන ගිනිසිළුව, ජූලි 26 වැනිදා පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උළෙලේදී ප්‍රධාන ගිනිසිළුව දැල්වීම සඳහා යොදා ගැනෙනු ඇත. 

සූර්ය කිරණ ආධාරයෙන්, ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව, සාම්ප්‍රදායිකව දල්වාගනු ලබන්නේ ග්‍රීසියේ පිහිටි පුරාණ ඔලිම්පියාවේදීය. ග්‍රීක නෘත්‍යංගනාවක්වන මේරි මිනා, මෙවර ගිනිසිළුව දැල්වීමේ අවස්ථාවේ ප්‍රධාන දේව දූතිකාවගේ භූමිකාවට පිවිස සිටියාය. 

හිරු රැස් කදම්භ එක්තැන් කෙරෙන අවතල දර්පනයක නාභියට යොමු කළ රීදී පන්දමකින්, ඔලිම්පික් ගිනිසිළුව දල්වා ගැනීම සම්ප්‍රදායයි. එහෙත් පසුගිය අප්‍රේල් 16 වැනිදා ග්‍රීසියේ පැවැති මන්දාරම් සහිත කාලගුණය නිසා ඔලිම්පික් ගිනිසිළුව දැල්වීමට අවශ්‍ය තරම් සූර්ය කිරණ කදම්බයක් ලබාගත නොහැකි විය. මෙම තත්ත්වය කල්තියාම අනුමාන කළ ඔලිම්පික් සංවිධායකයෝ, අප්‍රේල් 15 වැනිදා පැවැති අවසන් පෙරහුරුවේදී දර්පනය අසළ ගිනි දළුවක් සූදානම් කර තැබූහ. 

16 වැනිදා හිරු රැස් නොතිබුණද, ඇපලෝ දෙවිඳුන්ට කළ සාම්ප්‍රදායික යාඥාවකින් පසුව, කලින් සූදානම් කර තිබූ ගිනි දළුවෙන්, මේරි මිනා විසින් ඔලිම්පික් ගිනිසිළුව දල්වා ගන්නා ලදි. එතැන් සිට, ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතිනත හුවමාරු කරමින්, ග්‍රීසිය පුරා කිලෝමීටර 5000 ක දුරක් රැගෙන ගිය ඔලිම්පික් ගිනිසිළුව, පැරීසිය බලා ගෙනයනු පිණිස, අප්‍රේල් 26 වැනිදා පැරිස් ඔලිම්පික් උළෙලේ සංවිධායකයන්ට බාර කරන ලදි. 

ගිනිසිළුව ග්‍රීසියේ සිට ප්‍රංශයට රැගෙන යාම සඳහා යොදාගත් ‘බේලිම්’ යාත්‍රාවද සුවිශේෂී යාත්‍රාවකි. මීටර 50 ක පමණ දිගින් යුත්, කුඹගස් තුනකින් සමන්විත, මෙවන් ආකාරයේ රුවල් යාත්‍රා යොදාගනු ලබන්නේ අභියෝගාත්මක මෙන්ම වික්‍රමාන්විත මුහුදු ගමන් සඳහාය. 

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් මහතා විසින් මෙම ගිනිසිළුව දැල්වීමේ සාම්ප්‍රදායික චාරිත්‍රමාලාව හඳුන්වාදෙන ලද්දේ “පැරණි ඔලිම්පියාවේ පිහිටි අපගේ අතීතය කරා යන වන්දනාවක් වගේම අපගේ අනාගතය පිළිබඳ විශ්වාසයක්” ලෙසිනි. 

ඡායාරූප - ප්‍රංශ පුවත් සහ ගෙටී ඉමේජ් අනුග්‍රහයෙනි. 


අදහස් (0)

ඔලිම්පික් ගිනිසිළුව ප්‍රංශයට සේන්දුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.