Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ත්‍රිත්ව ක්‍රීඩකයෝ ලකුණකින් පළමු අදියර ජය ලබති
බ්‍රැඩ්බි පළිහ

ත්‍රිත්ව ක්‍රීඩකයෝ ලකුණකින් පළමු අදියර ජය ලබති

editorial - 2024 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 78 වැනි වරට පැවැත්වෙන බ්‍රැඞ්බි පළිහ රග්බි තරගාවලියේ පළමු අදියරේදී ලකුණු 17-16 ක අතිශ්‍ය තියුණු ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල අද (23 වැනිදා) සමත් විය. ත්‍රිත්ව විදුහලේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ශාන් අල්තාෆ් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.
 
රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 13-08 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය විදුහල සමත් වුවද, දෙවැනි අර්ධයේදී දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ ත්‍රිත්ව ක්‍රීඩකයෝ ලකුණු 9 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. එහිදී රාජකීයයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි.

තරගයේ 10 වැනි විනාඩියේදී රාජකීය විදුහලට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් එද්‍රිස් ෆාරුක් ලකුණු 3-0 ක් ලෙස සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කළේය. එහෙත් එතැන් පටන් විනාඩි 4 ක් ගතවන විට ත්‍රිත්ව විදුහල වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගත් ශාන් අල්තාෆ් 3-3 ක් ලෙස කණ්ඩායම් දෙකේ ලකුණු තත්වය සම කළේය. 

ඉන් අනතුරව තරගයේ 17 වැනි විනාඩියේදී ශාන් අල්තාෆ් පා පහරකින් ඉදිරියට යොමු කළ පන්දුව ගුවනේදී රැකගෙන සීමා රේඛාව මත පතිත වෙමින් මුරාඞ් රයිසන් ලබාගත් විශිෂ්ඨ උත්සාහක දිනුමත් සමග ත්‍රිත්ව විදුහලේ ලකුණු සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගියේය. 

කෙසේ වුවත් 21 වැනි විනාඩියේදී දඩුවම් පහරක් සාර්ථක කරගත් එද්‍රස් ෆාරුක්, ඉන් නොනැවතී 26 වැනි විනාඩියේදී ෆාහඞ් නසාර් ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් ලකුණු 13-8 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට රාජකීය විදුහල යළිත් වරක් තරගයේ පෙරමුණට ගෙන ආවේය. 

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව තරගයේ 43 වැනි සහ 50 වැනි විනාඩිවලදී දඩුවම් පහර දෙකක් සාර්ථක කරගනිමින් ලකුණු 14-13 ක් ලෙස රාජකීය විදුහල පසුපසට ඇද දැමූ ශාන් අල්තාෆ්, 61 වැනි විනාඩියේදී ඩ්‍රොප් ගෝලයක් ලබාගනිමින් ලකුණු 17-13 ක් ලෙස කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය වැඩි කළේය.

තරගය නිමා වීමට විනාඩි 6 ක් තිබියදී එනම් 64 වැනි විනාඩියේදී තවත් දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් රාජකීය විදුහල් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 16 ක් දක්වා ඉහළ දැමීමට එද්‍රිස් ෆාරුක් සමත් වුවද තරගය ජයගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.  

(ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු)


අදහස් (0)

ත්‍රිත්ව ක්‍රීඩකයෝ ලකුණකින් පළමු අදියර ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.