Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ තෙවැනි සතිය යටතේ පොලිසිය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර සෙනසුරාදා (28 වැනිදා) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් ලකුණු 17-15 ක තියුණු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
හැව්ලොක්ස් කණ්ඩායම මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ තෙවැනි ජය මෙන්ම පොලිස් කණ්ඩායම මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ තෙවැනි පරාජයද මෙය විය. කෙසේ වුවත් එහිදී ලකුණු 7 කට අඩු පරතරයකින් පරාජයට පත්වීම හේතුවෙන් පොලිස් කණ්ඩායමට ප්‍රසාද ලකුණක් හිමි විය.
කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 8-3 ක් ලෙස පෙරමුණ ගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී පොලිස් කණ්ඩායම උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි.
කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී තරගයට අවතීර්ණ වූ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ, එහිදී ගෝල දිනුම් 2 ක් වාර්තා කරමින් සිය ලකුණු සංඛාවට තවත් ලකුණු 14 ක් එක්කර ගත්තේ තරගය කණපිට හරවමිනි. පොලිස් ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.
ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක කරට කර සටනක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පළමු විනාඩි 20 අවසන් වන තෙක් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට නොහැකි වූහ. එහෙත් 26 වැනි විනාඩියේදී පොලිසිය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ හාෆිස් තාබිත් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය.
සැමුවෙල් මධුවන්ත 32 වැනි විනාඩියේදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගත් නමුත්, 39 වැනි විනාඩියේදී පොලිස් කණ්ඩායම වෙනුවෙන් නවීන් කනිෂ්ක සාර්ථක කරගත් දඬුවම් පහරත් සමග ලකුණු තත්වය 8-3 ක් බවට පත්විය. ඒ අනුව දෙවැනි අර්ධය ආරම්භ වන විට පොලිස් කණ්ඩායම ලකුණු 5 ක් ඉදිරියෙන් සිටියේය.
දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 10 ක් ඇතුළත උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ තරගයේ වැඩි වාසි තමන් දෙසට හරවා ගත්හ. ෆායිස් අබ්දුල්ලා 45 වැනි විනාඩියේදීත්, අස්මීර් ෆාජුඩීන් 48 වැනි විනාඩියේදීත් ලබාගත් එම උත්සාහක දිනුම් දෙකේ ප්‍රවර්ථනයන් සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත, සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 17 ක් දක්වා ඔසවා තැබුවේය.
පොලිස් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවූ ප්‍රිමේෂ් මධුෂංක 56 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් යෙහාන් බුලත්සිංහල කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය 2 ක් දක්ව අඩු කළේය. කෙසේ වුවත් ඉන් අනතුරුව තරගය නිමාවට පත්වන තෙක්ම ලකුණු රැස්කිරීමට කණ්ඩායම් දෙකම අපොහොසත් වීම නිසා හැව්ලොක්ස් කණ්ඩායමට ලකුණු 2 ක තියුණු ජයක් හිමි විය.
අනාරක්ෂිත අයුරින් හැව්ලොක්ස් ක්‍රීඩකයකු නවතාලීමට කටයුතු කිරීම හේතුවෙන් පොලිස් ක්‍රීඩක රමිත හිමාෂ්ට 17 වැනි විනාඩියේදී රතු කාඩ්පත පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට ප්‍රධාන විනිසුරු ගිහාන් යටවර මහතා පියවර ගත්තේය. ඒ අනුව එතැන් පටන් පොලිස් කණ්ඩායමට පැයකට වැඩි කාලයක් ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් තරග වැදීමට සිදුවිය.
නීති විරෝධී අයුරින් කටයුතු කිරීම හේතුවෙන් හැව්ලොක්ස් කණ්ඩායමේ දිනූප සෙනෙවිරත්න 25 වැනි විනාඩියේදීත්, ජයතු රාජරත්න 26 වැනි විනාඩියේදීත්, සෙනාල් දීලක 48 වැනි විනාඩියේදීත් විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලබා විනාඩි 10 බැගින් පිටියෙන් ඉවත්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.