Last Update  :  2024-12-27 12:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ත්‍රිත්වයෝ වසර 10 කට පසුව බ්‍රැඞ්බි පළිහට මාන බලති

ත්‍රිත්වයෝ වසර 10 කට පසුව බ්‍රැඞ්බි පළිහට මාන බලති

editorial - 2024 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 78 වැනි වරට පැවැත්වෙන බ්‍රැඞ්බි පළිහ රග්බි තරගාවලියේ දෙවැනි අදියර අනිද්දා (7 වැනිදා) පස්වරු 4.15 සිට මහනුවර පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු අදියරේදී ලකුණු 17-16 ක තියුණු ජයක් ලැබූ ත්‍රිත්ව විදුහල දෙවැනි අදියර ආරම්භ වීමට පෙර රාජකීය විදුහලට වඩා ලකුණක් ඉදිරියෙන් සිටියි. 

බ්‍රැඞ්බි පළිහ ජයග්‍රාහකයා තෝරාගනු ලබන්නේ අදියර දෙකෙහිම ලකුණුවල එකතුව අනුවය. ඒ අනුව දෙවැනි අදියරේදී දෙපිලේ ලකුණු සම වුවද, සමස්ත තරගාවලියේ ජය ත්‍රිත්ව විදුහලට හිමිවනු ඇත. එසේ වුවහොත් ත්‍රිත්ව විදුහලට වසර 10 කට පසුව බ්‍රැඞ්බි පළිහ දිනාගැනීමේ අවස්ථාව උදාවනු ඇත. 

මෙවර තරගාවලියේදී තිවේන් පෙරේරා විසින් රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර නිත්‍ය නායක අනුහස් කොඩිතුවක්කු ආබාධයකට ලක්වීම හේතුවෙන් උප නායක තිසංග දිසානායක ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායකත්වය දරයි.  

මේ දක්වා පැවැති තරගවාර 77 න් 39 ක් ජයගැනීමට ත්‍රිත්ව විදුහල සමත්ව ඇති අතර රාජකීය විදුහල ඉන් 36 කදී ජය ලබා ඇත. තරග 2 ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී තිබේ. 2020 සහ 2021 යන වසරවලදී කොවිඞ් වසංගතය හේතුවෙන් මෙම තරගාවලිය නොපැවැති අතර ඉන් අනතුරුව පැවැති 2022 සහ 2023 තරගාවලි දෙකම ජයගනු ලැබුවේ රාජකීයයන් විසිනි.   

ඒ අනුව අවසන් වරට පැවැති බ්‍රැඞ්බි පළිහ තරගාවලි 5 දීම (2017 සිට 2023 දක්වා) ශූරතා දිනාගැනීමට රාජකීය විදුහල සමත්ව ඇති අතර ත්‍රිත්ව විදුහල අවසන් වරට එහි ශූරතාවට හිමිකම් කියා ඇත්තේ 2014 වසරේදීය. 2015 වසරේදී පැවැති තරගාවලියේ ජයද රාජකීයයන් සතුවූ අතර 2016 වසරේදී පැවැති තරගාවලිය ලකුණු සම වීම හේතුවෙන් ජය පැරදුමකින් තොරව අවසන් විය. 

වැඩිම වාර ගණනකදී පිට පිටම මෙම තරගාවලියේ ශූරතාව දිනා ඇත්තේ ත්‍රිත්ව විදුහලය. 1952 වසරේ සිට 1957 වසර දක්වා කාලය තුළ 6 වරක් බැඞ්බි පළිහ තමන් සන්තකයේ රඳවාගනිමිනි. යම් හෙයකින් මෙවර තරගාවලිය ජයගැනීමට රාජකීයයන් සමත් වුවහොත්, ඔවුන්ද පිට පිටම හයවැනි ශූරතාවට හිමිකම් කියමින් ත්‍රිත්ව විදුහල සමග පිට පිට වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනාගත් වාර්තාවේ සම හිමිකරුවන් බවට පත්වනු ඇත. 


අදහස් (0)

ත්‍රිත්වයෝ වසර 10 කට පසුව බ්‍රැඞ්බි පළිහට මාන බලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.