Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසිය අවසන් මොහොතේදී වාසිය රැකගනී

පොලිසිය අවසන් මොහොතේදී වාසිය රැකගනී

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ 2016-17 තරගවාරයේදී මේ දක්වා කිසිදු ජයග්‍රහණයක් නොලැබූ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සිය පළමු ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට පැමිණියද පොලිස් ක්‍රීඩකයෝ අවසන් මොහොතේදී තරගයේ වාසිය රැකගත්හ.

පොලිස් ක්‍රීඩාංගණයේ ඉරිදා (29 වැනිදා) සවස පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 26-7 කින් පෙරමුණ ගැනීමට සමත්වූ පොලිස් කණ්ඩායම දෙවැනි භාගයේදි ලකුණු ලබාගැනීමට නොදී ඇද බැඳ තබාගැනීමට සී. එච්. ක්‍රීඩකයෝ සමත් වූහ. දෙවැනි අර්ධයේදී සී.එච්. ක්‍රීඩකයන් පිට පිට ගෝල් 2 ක්ම රැස් කරමින් ජයග්‍රහණය හඹා ගියත් ජයග්‍රහණ පිපාසය සංසිඳුවා ගැනීමට එය ප්‍රමාණවත් වූයේ නැත.

අවසානයේදී පොලිස් කණ්ඩායම තරගයේ වාසිය රැකගත් හෙයින් ලකුණු 26-21 කින් තරගය දිනාගෙන මෙවර තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කළේය.

තරගයේ ආරම්භයේදීම සුජාන් කොඩිතුවක්කු තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ රාජිත සන්සෝනි පොලි්ස් පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගිය අතර මොහොතකට පසු රීසා රෆායිඩීන් තැබූ අනගි උත්සාහක දිනුමෙන් ලකුණු සංඛ්‍යාව 12-0 දක්වා ඉහළ ගියේය. මිනිත්තු කිහිපයකට පසුව පොලිස් පිලේ ක්‍රීඩකයන්ගේ නීතිවිරෝධි ක්‍රීඩා රටාව හමුවේ ලැබූ දඬවම් උත්සාහක දිනුම සාර්ථක කරගත් රෝහිත රාජපක්ෂ සිය කණ්ඩායමට ලකුණු 7 ක් ගෙන දුන්නේය.

ඊළඟ මොහොතේ දී රසිත් සිල්වා තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 19-7 කින් ඉදිරියට තල්ලු කිරීමට සන්සෝනි සමත්විය. රොමේෂ් ආචිරිගේ තැබූ උත්සාහක දිනුම සන්සෝනි විසින් ගෝලයක් බවට පත් කරනු ලැබුවේ පළමු භාගය නිමාවීමට මොහොතකට පෙරය.

දෙවැනි භාගය ආරම්භයේ සිටම ආක්‍රමණශීලී තරග රටාවක නිරතවූ සී.එච්. පිල සිය ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් ගෙන දුන් අතර ලක්ෂාන් ජයපාල සහ කලිඳු කාරියවසම් තැබූ උත්සාහක දිනුම් ගෝල බවට පත් කරමින් සිය කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දැමීමට රෝහිත රාජපක්ෂ සමත්වූවත් පොලිස් පිලේ ජයග්‍රහණය නැවත්වීමට එය ප්‍රමාණවත් නොවීය.

මෙවර තරගාවලියේ කිසිදු ජයග්‍රහණයක් නොලැබූ එකම කණ්ඩායම බවට පත්වීමේ ලජ්ජාශීලී වාර්තාවෙන් බේරීමට නම් සී.එච්. පිල ලබන සති අන්තයේ පැවැත්වෙන ගුවන් හමුදා පිල සමග තරගය ජයගත යුතුමය. මන්ද ඊළඟට එළැඹෙන ඉදිරි සති අන්තයෙන් ලීග් තරගාවලිය නිමාවට පත් වන අතර සී.එච්.පිලට අවසන් සතියේ දී තරග වැදීමට සිදුවී ඇත්තේ මහනුවර පිල සමග බැවිනි.

 


අදහස් (0)

පොලිසිය අවසන් මොහොතේදී වාසිය රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.