Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති
පළමු පෙළ රග්බි ලීගය

මහනුවර ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති

editorial - 2024 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළමු සතිය නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 61-14 ක දැවැන්ත ජයක් වාර්තා කළ මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණක්ද සමග මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 6 කි. 

ගුවන් හමුදාව සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයද පළමු සතියේ සහභාගි වූ තරගවලදී ප්‍රසාද ලකුණද සමග ජයගත් නමුත්, එම තරගවලදි ලබාගත් ලකුණු සංඛ්‍යාවන් සහ ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණු සංඛ්‍යාවන් අතර පරතරය අනුව ඔවුන් පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්ව සිටියි. 

පළමු ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායමේ ලැබූ ලකුණු සහ දුන් ලකුණු අතර පරතරය 47 ක් වන අතර ගුවන් හමුදාවේ සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ ලකුණු පරතරයන් 21 ක් සහ 18 ක් ලෙස සටහන් වේ. පළමු සතියේදී යුද හමුදාව සහ පොලිසිය අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවූ අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට පළමු සතියේදී විවේකයක් ලැබී තිබිණ.  

මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම  ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි. 

තරගාවලියේ දෙවැනි සතිය එළබෙන සිකුරාදා (20 වැනිදා) ආරම්භ වන අතර එහිදී පොලිසියට එරෙහිව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය. ගුවන් හමුදාව සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීත්, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජ ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදීත් සෙනසුරාදා (21 වැනිදා) තරග වදිනු ඇත. 

දෙවැනි සතියේ අවසන් තරගය ඉරිදා (22 වැනිදා) මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගවලින් ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය පමණක් පස්වරු 6.30 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන අතර සෙසු තරග 3 ම පස්වරු 4.00 ට ආරම්භ වනු ඇත. 

පළමු සතියේ තරග ප්‍රතිඵල 

  • ගුවන් හමුදාව ලකුණු 36-15 කින් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පරදවයි. 
  • හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 43-25 කින් නාවික හමුදාව පරදවයි. 
  • මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 61-14 කින් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පරදවයි. 

 

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.