Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිල පෙරමුණ ගනී

මහනුවර පිල පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේදී තම කණ්ඩායම ලජ්ජාශීලී පරාජයක් උරුම කර දෙමින් ආපස්සට තල්ලු කළ ගුවන් හමුදා පිල කන්ද උඩරටට ගෙන්වා ගත් මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 73-13 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්හ.

පළමු වටයේදී ලද පරාජයේ වාඩුව පිරිමසා ගත් මහනුවර ක්‍රීඩා සමාජය තරග 12 කදී ජයග්‍රහණ 10 ක් අත්කරගනිමින් ප්‍රසාද ලකුණු 63 ක් ලබා පළමු ස්ථානයට පත්ව සිටී. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය තරග 12 කදී ජයග්‍රහණ 11 ක් සමග ප්‍රසාද ලකුණු 63 ක් ලබා සිටියද දෙවැනි තැන පසුවන්නේ මහනුවර පිලට වඩා අඩු උත්සාහක දිනුම් සංඛ්‍යාවක් වාර්තා කිරීම හේතුවෙනි.

නිත්තවෙල ක්‍රීඩාංගණයේදී ඉරිදා පස්වරුවේ පැවැති මේ තරගය පුරා උත්සාහක දිනුම් 11ක් තැබීමට මහනුවර ක්‍රීඩකයෝ සමත්වූහ. ඉන් 9 ක්ම ගෝල බවට ප්‍රවර්ථනය කරන ලදි.

 තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු සංඛ්‍යාව දිස්වුයේ 40-3 ක් ලෙසිනි. මහනුවර පිල තම කණ්ඩායම ගෙදරට ගෙන්වා බඩ පිරෙන්නට දෙන බව දැන දැනම ක්‍රීඩා කළ ගුවන් හමුදා පිලට උත්සාහක දිනුම් 2 කට සහ දඬුවම් පහරකට වඩා ඉදිරියට යා නොහැකි විය.

තරගයේ ආරම්භයේදීම දඬුවම් පහරකින් සිය කණ්ඩායම ලකුණු 3-0 කින් ඉදිරියට ගෙන යාමට චරිත් සෙනෙවිරත්න සමත්වූවත් ඊළඟට පළමු භාගය නිමාවනතුරු පන්දුව තිබුණේ මහනුවර ක්‍රීඩකයන් අතය.

බුවනෙක උඩංගමුවගෙන් ආරම්භක කළ උත්සාහක දිනුම් වර්ෂාව පළමු භාගය නිමාවෙද්දී 6 ක්වී තිබිණි. ඉන් 5 ක්ම තිළිණ විජේසිංහ විසින් ගෝල බවට ප්‍රවර්ථනය කරන ලදි.

දෙවැනි භාගයේදීත් මහනුවර පිලේ උත්සාහක දිනුම් ගොන්නට මැදිවී සිටි ගුවන් හමුදා පිලට දිනේෂ් වීරරත්න පිට පිට උත්සාහක දිනුම් 2 ක් තබමින් පොඩි තල්ලුවක් ලබා දුන්නේය.

මහනුවර පිල වෙනුවෙන් ධනුෂ්ක රන්ජන්, කාංචන රාමනායක සහ රිචඞ් ධර්මපාල උත්සාහක දිනුම් 2 බැගින් තැබූ අතර බුවනෙක උඩංගමුව, ගයාන් රත්නායක, විශ්වමිත්‍ර ජයසිංහ, ලසිත අත්තනගොඩ සහ තිළිණ විජේසිංහ උත්සාහක දිනුම බැගින් තැබූහ. තිළිණ විජේසිංහ ඉන් 7 ක්ම ගෝල බවට පත් කළ අතර අර්ෂාද් ජමාල්ඩින් ගෝල බවට පත් කළ උත්සාහක දිනුම් සංඛ්‍යාව දෙකකි.

 


අදහස් (0)

මහනුවර පිල පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.