Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති

editorial - 2024 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ තෙවැනි සතිය යටතේ ‍නාවික හමුදාව සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර සෙනසුරාදා (28  වැනිදා) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් ලකුණු 38-15 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

සී.ආර්. කණ්ඩායම මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ දෙවැනි ජය මෙන්ම නාවික හමුදා කණ්ඩායම මෙම තරගාවලියේදී පිට පිටම ලැබූ දෙවැනි පරාජයද මෙය විය. එහිදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කිරීම හේතුවෙන් සී.ආර්. කණ්ඩායමට ප්‍රසාද ලකුණක්ද හිමි විය.

ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 21-3 ක් ලෙස නාවිකයන් පසුපසට ඇද දැමීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී සී.ආර්. කණ්ඩායම ගෝල දිනුම් 3 ක් මගින් ලකුණු ලබාගත් අතර නාවික හමුදා කණ්ඩායම ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි.

දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් තවත් ලකුණු 17 ක් සිය ලකුණු මල්ලට එක්කර ගැනීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත්‍ වූහ. එහෙත් නාවික හමුදා ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

තරගය ආරම්භ වී විනාඩි 6 ක් ගත වන විට සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට විදුන අමනෙත් සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සුබේර් දොරේ එය ගෝල දිනුමක් බවය පත් කළේය. නාවික හමුදා කණ්ඩායම තරගයට අවතීර්ණ වූයේ 12 වැනි විනාඩියේදී තිළිණ වීරසිංහ සාර්ථක කරගත් දඬුවම් පහර සමගිනි.

තරගයේ 17 වැනි සහ 36 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට සී.ආර්. ඉදිරි පෙළ ක්‍රීඩක ඔමල්ක ගුණරත්න සමත් විය. එම උත්සාහක දිනුම් දෙකේම ප්‍රවර්ථනයන් සාර්ථක කරගත් සුබේර් දොරේ, පළමු අර්ධය නිමාවට පත්වන විට සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ දැමුවේය.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 5 ක් ගතවන විට (45 වැනි විනාඩියේදී) සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් සිවුවැනි උත්සාහක දිනුම වාර්තා කරනු ලැබු‍වේ අදීෂ වීරතුංග විසිනි. 57 වැනි විනාඩියේදී නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ දෙනුවන් වික්‍රමාරච්චි ලකුණු තත්වය 26-08 ක් බවට පත් කළේය.

සිය දෙවැනි උත්සාහක දිනුම 61 වැනි විනාඩියේදී වාර්තා කළ විදුන අමනෙත් සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් තිළිණ විජේසිංහ සී.ආර්. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 33 ක් දක්වා ඔසවා තැබූහ. 77 වැනි විනාඩියේදී ඊට තවත් ලකුණු 5 ක් එක් කිරීමට තේනුක නානායක්කාර සමත් වූයේ සිය කණ්ඩායම වෙනුවෙන් 6 වැනි උත්සාහක දිනුමද වාර්තා කරමිනි.

සී.ආර්. ක්‍රීඩකයන්ගේ දැඩි රැකවල් මැද තරගයේ අවසන් විනාඩියේදී නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගැනීමට තිළිණ වීරසිංහ සමත් වුවද, ඉන් තරගයේ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් සිදු නොවීය.


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.