Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද (4 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී කරට කර සටනකින් අනතුරුව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 41-27 ජයක් වාර්තා කරමින් අපරාජිතව සුපිරි වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 10-10 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවිය. දෙවැනි අර්ධය තුළ සාන්ත තෝමසුවන් ලකුණු 17 ක් රැස්කරද්දී, ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ඉසිපතන ක්‍රීඩකයෝ ලකුණු 31 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ.
එහිදී ඉසිපතන විදුහල ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 4 ක් සහ දඬුවම් උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර සාන්ත තෝමස් විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගිනි. එහිදී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහලේ නිමන්ත සංදීප සමත් විය.
තරගයේ 13 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ නිමන්ත, ඉසිපතන විදුහල වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. එහෙත් 15 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් යෙහාන් බුලත්සිංහලගේ, ඉන් නොනැවතී 19 වැනි විනාඩියේදී සනුත් ඇහැලියගොඩ ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කරගත්තේ ලකුණු 10-05 ක් ලෙස සාන්ත තෝමස් විදුහල තරගයේ පෙරමුණට ගෙන එමිනි.
කෙසේ වුවත් පළමු අර්ධය නිමාවීමට පෙර 24 වැනි විනාඩියේදී ඉසිපතන විදුහල වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්වය 10-10 ක් ලෙස සම කිරීමට දිනද වික්‍රමාරච්චි සමත් විය. පළමු අර්ධයේ 22 වැනි විනාඩියේදී සාන්ත තෝමස් විදුහලේ ආකාෂ් ප්‍රනාන්දුද, 32 වැනි විනාඩියේදී ඉසිපතන විදුහලේ කලිඳු සිල්වාද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ.
දෙවැනි අර්ධය ආරම්භ වනවාත් සමගම (36 වැනි විනාඩියේදී) සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ නිමන්ත, ඉන් නොනැවදී 41 වැනි විනාඩියේදී අබ්දුල්ලා ෆයිසර් ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමටද සමත් විය. ඒ අනුව ලකුණු තත්වය 22-10 ක් දක්වා ඉහළ ගියේය.
එහෙත් සටන අත්නොහළ සාන්ත තෝමස් ක්‍රීඩකයන් දිගින් දිගටම ඉසිපතන ඉදිරි පෙළ ආරක්ෂක වැට බිඳ දැමීමට උත්සාහ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 49 වැනි සහ 55 වැනි විනාඩිවලදී සීමා රේඛාව පසුකර යෑමට මර්කයිල් කරුණාරත්නට හැකි විය. ඉන් පළමු උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් යෙහාන් බුලත්සිංහලගේ ලකුණු 22-22 ක් ලෙස යළිත් වරක් ලකුණු තත්වය සම කිරීම සඳහා සිය සගයාට සහාය දැක්වීය.
එහෙත් 58 වැනි විනාඩියේදී සාන්ත තෝමසුවන්ගේ නිති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ඉසිපතන විදුහලට දඬුවම් උත්සාහක දිනුමක් ප්‍රධානය කළ විනිසුරුවන්, සාන්ත තෝමස් ක්‍රීඩක ආකාෂ් ප්‍රනාන්දුට දෙවැනි කහ කාඩ්පත සමගින් රතු කාඩ්පතක් නිකුත් කිරීම සඳහා පියවර ගැනීමත් සමග තරගය උඩු යටිකුරු විය.
තරගයේ 62 වැනි විනාඩියේදී කවීන් තරූෂ ලබාගත් උත්සාහක දිනුමත්, 67 වැනි විනාඩියේදී නිමන්ත ලබාගත් ඔහුගේ තෙවැනි උත්සාහක දිනුමත් සමග ඉසිපතන විදුහලේ ලකුණු සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගියේය. ඉන් දෙවැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් අවිෂ්ක හිරාන් තරගය නිමාවන විට සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 41 ක් දක්වා ඔසවා තැබීය.
එම උත්සාහක දිනුම් දෙක අතර මැදදී එනම් 65 වැනි විනාඩියේදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගැනීමට අවිෂක පෙරේරා සමත් වුවද, තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට තරම් ඉන් බලපෑමක් සිදු නොවීය. ඒ අනුව ලකුණු 41-27 ක් ලෙස තරගය ජයගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ.
(ඡායාරූප - නිමලසිරි එදිරිසිංහ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.