Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාවට පස්වැනි තැන

ගුවන් හමුදාවට පස්වැනි තැන

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සිය අවසන් තරගයෙන් යුද හමුදා පිල ලකුණු 43-26 කින් පරාජය කළ ගුවන් හමුදා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි තැන රැක ගැනීමට සමත්විය.

සී.ආර්. පිටියේ ඊයේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 24-12 කින් පෙරමුණ ගෙන සිටි ගුවන් හමුදා පිල ගෝල් 4 ක් සහ උත්සාහක දිනුම් 3 ක් තැබීමට සමත්වූ අතර යුද හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 3ක් සහ උත්සාහක දිනුමක් පමණි.

රුමේෂ් රාම්දාස් තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ නායක ගයන්ත ඉද්දමල්ගොඩ ගුවන් හමුදා පිලේ ලකුණු ලබාගැනීම 7-0 කින් ආරම්භ කළ අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව යුද හමුදා පිලේ ධනුෂ්ක තල්වත්ත තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ ගයාන් සාලින්ද ලකුණු සංඛ්‍යාව 7-7 කින් සම කළේය. පසුව ගයන්ත ඉද්දමල්ගොඩ තැබූ අනගි උත්සාහක දිනුම ඔහු විසින්ම ගෝලයක් බවට පත් කරමින් ගුවන් හමුදා පිල ලකුණු 14-7 කින් ඉදිරියට ගෙන ගිය අතර පළමු භාගය නිමාවීමට පෙර සාරක වැරැල්ලගේ උත්සාහක දිනුමත්, රාම්දාස්ගේ දෙවැනි උත්සාහක දිනුමත් මත ලකුණු සංඛ්‍යාව 24 දක්වා ඉහළ දමද්දී යුද හමුදා පිල වික්ටර් ප්‍රදීප් තැබූ උත්සාහක දිනුමෙන් ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ දමාගත්තේය.

දෙවැනි භාගයේ දී සුරම්‍ය හේරත් තැබූ කදිම උත්සාහක දිනුමක් ගෝලයකට බවට පත් කළ ගයාන් සාලින්ද යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්වූයේ ගුවන් හමුදා පිලට අභියෝගයක් එල්ල කරමිනි. ඊට නිසි පිළිතුරු දුන් ගුවන් හමුදා පිල කෞෂාල් මනුප්‍රියගේ උත්සාහක දිනුමක් ඉද්දමල්ගොඩ විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු 31-19 කින් ඉදිරියට ගිය අතර ඊට මොහොතකට පසුව නිලන්ත ජයවීර තැබූ උත්සාහක දිනුමක් ඉද්දමල්ගොඩගේ පා පහරින් නැවතත් ගෝලයක් බවට පත්වීමෙන් පසුව ලකුණු සංඛ්‍යාව දිස්වූයේ 38-19 ක් ලෙසිනි.

අවසන් මිනිත්තු කිහිපයේදී දෙපිලම උත්සාහක දිනුම බැගින් තැබීමට සමත්වූ අතර ඉන් පළමුවැන්න තබනු ලැබුවේ යුද හමුදාවේ සංජීව හපුගස්කුඹුර විසිනි. එය ගෝලයක් බවට පත් කළ සාලින්ද යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 26 දක්වා ඉහළ දැමීමට සමත්වූවත් අවසන් මොහොතේ පුෂ්පකුමාර සමරහේවා තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ ඉද්දමල්ගොඩ ගුවන් හමුදා පිලේ ජයග්‍රහණය තහවුරු කළේය.

 


අදහස් (0)

ගුවන් හමුදාවට පස්වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.