Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාවත් කුසලාන වටයට පනී
අන්තර් සමාජ පළමු පෙළ

ගුවන් හමුදාවත් කුසලාන වටයට පනී

editorial - 2025 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ මූලික වටය නිමාවන විට ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 ට එක් වෙමින් දෙවැනි අදියරේදී කුසලාන වටය යටතේ තරග වැදීම සඳහා සුදුසුකම් ලැබීමට මහනුවර, හැව්ලොක්ස්, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සහ ගුවන් හමුදා කණ්ඩායම් සමත් විය. 

ඔවුන් අතරින් මහනුවර, හැව්ලොක්ස්, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. තරගාවලියේ 7 වැනි සතිය නිමාවන විටත් කුසලාන වටයේ ස්ථාන වෙන්කරවා ගෙන තිබිණි. එහෙත් ගුවන් හමුදාව එම කණ්ඩායම් සමග එක් වූයේ ඉකුත් සෙනසුරාදා (8 වැනිදා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලකුණු 27-19 ක ජයක් ලබමිනි. 

මහනුවර ක්‍රීඩා සමාජය මූලික වටය පුරා සිය අපරාජිතව බව රැක ගනිමින් ප්‍රසාද ලකුණු 7 ක් සමග ලකුණු 47 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් කුසලාන වටයට පිවිසියේය. මෙවර තරගාවලිය තුළදී මහනුවර කණ්ඩායමට ප්‍රසාද ලකුණක් ලබාගැනීමට නොහැකි වූයේ හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පමණි. 

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු සටහනේ දෙවැනි තැන ගනිමින් කුසලාන වටයට පිවිසි අතර මූලික වටයේදී ප්‍රසාද ලකුණු 7 ක් සමග ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 42 කි. මූලික වටයට තුළදී හැව්ලොක්ස් කණ්ඩායම පරාජයට පත් වූයේ මහනුවර කණ්ඩායම හමුවේ පමණක් වන අතර එම තරගයේදී පවා ප්‍රසාද ලකුණක් හිමිකර ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.  

ඉකුත් වසරේ (2024) ලීග් රග්බි ශූරයන් වූ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, මෙම වසරේදීත් සති කිහිපයක් පුරා අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියේය. එහෙත් මූලික වටයේ අවසන් සති දෙකේදී හැව්ලොක්ස් සහ මහනුවර කණ්ඩායම් හමුවේ ඔවුහු පරාජයට පත් වූහ. ඒ අනුව සී.ආර්. කණ්ඩායම කුසලාන වටයට පිවිසියේ ප්‍රසාද ලකුණු 7 ක් සමග ලකුණු 37 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදෙමිනි. 

සී.එච්. ඇන්ඩ් එෆ්.සී., යුද හමුදා, පොලිස්, ශ්‍රී ලයන්ස් සහ නාවික හමුදා යන කණඩායම් පිළිවෙලින් ලකුණු සටහනේ පස්වැනි, හයවැනි, හත්වැනි, අටවැනි සහ නමවැනි ස්ථානවලට පත්වීම හේතුවෙන් ඔවුන්ට තරගාවලියේ දෙවැනි අදියරේදී පලඟ වටය යටතේ තරග වැදීමට සිදුවිය. පලඟ වටයේ තරග මෙම මස 14 වැනිදා සිටද, කුසලාන වටයේ තරග මාර්තු මස 1 වැනිදා සිටද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 


නමවැනි සතියේ තරග ප්‍රතිඵල 
■ ගුවන් හමුදාව ලකුණු 27-19 කින් යුද හමුදාව පරදවයි. 
■ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 69-24 කින් නාවික හමුදාව පරදවයි. 
■ පොලිසිය ලකුණු 28-10 කින් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පරදවයි. 
■ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 32-10 කින් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරදවයි. 


අදහස් (0)

ගුවන් හමුදාවත් කුසලාන වටයට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.