Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ජනාධිපති කුසලාන ඉසිපතනයට
අන්තර් පාසල් රග්බි

ජනාධිපති කුසලාන ඉසිපතනයට

editorial - 2024 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) ‍

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ අන්තර් පාසල් පළමු කොටසේ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයේදී ලකුණු 34-29 ක් ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරමින් යළිත් වරක් ජනාධිපති කුසලාන තමන් සතුකර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල අද (15 වැනිදා) සමත් විය. ඉසිපතන විදුහල ජනාධිපති කුසලාන දිනාගත් 12 වැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම අවසන් තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 20-12 ක් ලෙස ඉදිරියෙන් සිටි ඉසිපතන විදුහල, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 14 ක් එක්කර ගත්තේය. දෙවැනි අර්ධයේදී ලකුණු 17 ක් රැස්කිරීමට ශාන්ත පීතර විදුහල සමත් වුවද, පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව තරගයේ ජය ඉසිපතන විදුහලට හිමි විය.

මුල් විනාඩි 15 නිමාවන තෙක් දෙපිලම ලකුණුු ලබාගැනීමට අපොහොසත් වුවද, 16 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ අබ්දුල් ආසිස් ඉසිපතන විදුහල වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත ශාහිඩ් සුම්රි ලකුණු 7-0 ක් ලෙස සිය කණ්ඩායම ඉදිරියට ගෙන ආවේය.

ශාන්ත පීතර විදුහල වෙනුවෙන් 20 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් රොවෝන් පෙරේරා ලකුණු තත්වය 7-5 ක් බවට පත්කළ නමුත්, 25 වැනි විනාඩියේදී උත්සාහ දිනුමක් ලබාගත් ඉසිපතන නායක එමිත් ජයවීර ලකුණු 12-5 ක් ලෙස පරතරය වැඩි කළේය. එහෙත් 29 වැනි විනාඩි‍යේදී ශාත්න පිතර විදුහල වෙනුවෙන් රනිතු රිද්මාල් ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් රාහුල් පීටර් 12-12 ක් ලෙස දෙපිලේම ලකුණු තත්වය සම කළේය.

තරග‍යේ 32 වැනි විනාඩියේදී ඉසිපතන විදුහලට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් නිමන්ත සංදීප, ඉන් නොනැවතී 34 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක්ද වාර්තා කරමින් පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 20-12 ක් සිය කණ්ඩායමට වැඩි වාසි අත්කර දුන්නේය.

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව 37 වැනි විනාඩියේදී රාහුල් පීටර් ශාන්ත පීතර විදුහල වෙනුවෙන්ද, ශාහිඩ් සුම්රි ඉසිපතන විදුහල වෙනුවෙන්ද දඬුවම් පහර සාර්ථක කරගනිමින් ලකුණු තත්වය 23-15 ක් බවට පත් කළහ. 44 වැනි විනාඩියේදී පසිඳු බණ්ඩාර ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට රාහුල් පීටර් සමත් වීමත් සමග ලකුණු 23-22 ක් ලෙස ඉසිපතන විදුහල සමීපයටම පැමිණීමට ශාන්ත පීතර විදුහලට හැකි විය.

එහෙත් 48 වැනි සහ 53 වැනි විනාඩි වලදී ඉසිපතන විදුහලට හිමිවූ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගත් ශාහිඩ් සුම්රි, ඉන් නොනැවතී 60 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක්ද වාර්තා කරමින් සිය කණ්ඩායමට ලකුණු 11 ක් එක් කළේ මුළු ලකුණු සංඛ්‍යාව 34-22 ක් බවට පත් කරමිනි.

තරගය නිමා වීමට විනාඩි 7 ක් ඉතිරිව තිබියදී (63 වැනි විනාඩියේදී) පසිඳු බණ්ඩාර ලබාගත් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් මුළු ලකුණු තත්වය 34-29 ක් දක්වා ඔසවා තැබීමට රාහුල් පීටර් සමත් වුවද, ශාන්ත පීතර විදුහල ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (1)

ජනාධිපති කුසලාන ඉසිපතනයට
  • පියල් එස් ජයලත් Monday, 16 September 2024 12:41 PM

    ග්‍රීන් මැෂින් නම් විරුදාවලි ලත් එඩිතර ඉසිපතනුවන්ගේ අද්විතීය ජයග්‍රහණය වෙනුවෙන් උද්දාමයට පත් ආදී ඉසිපතනුවෙක් වූ මගේ ගෞරවනීය ප්‍රණාමය මෙසේ පුදකර සිටිමි. ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.