Last Update  :  2024-11-24 17:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ප‍්‍රශ්න වහා විසඳිය යුතුයි - කී‍්‍රඩා ඇමති දයාසිරි

ප‍්‍රශ්න වහා විසඳිය යුතුයි - කී‍්‍රඩා ඇමති දයාසිරි

ශනුක අරවින්ද - 2015 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව පිළිබඳව නොසතුටට පත්ව සිටින බැවින් රට තුළ ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ උද්ගතවී තිබෙන අර්බුද ඉතා ඉක්මනින්ම විසඳා ගැනීමට සිදුවන බව ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ (7) එම ධුරයේ වැඩ බාර ගනිමින් පැවසීය.

ශ්‍රී ලංකාවේ 12 වැනි ක‍්‍රීඩා ඇමැතිවරයා ලෙස ඊයේ වැඩ ඇරඹූ දයාසිරි ජයසේකර මහතා රීඞ් මාවත ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ බාරගත් අතර එම අවස්ථාවට හිටපු ක‍්‍රීඩා ඇමැති වැවිලි කර්මාන්ත නව ඇමැති නවීන් දිසානායක මහතා ඇතුළු ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන්, නිලධාරින් හා අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

නව ක‍්‍රීඩා ඇමැතිවරයා නාරම්මල මධ්‍ය මහා විදුහලේ ආදි සිසුවකු වන අතර ක‍්‍රීඩා ඉසව් ගණනාවකින්ම දස්කම් දැක්වූ අයෙකි.

ඇමැතිවරයා වැඩ බාර ගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා පනත් රෙගුලාසි සංශෝධනය සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නොසතුටෙන් පසුවන බැවින් මේ වන විට රට තුළ ක‍්‍රීඩා කේෂ්ත‍්‍රයේ උද්ගතවී තිබෙන අර්බුද විසඳීමට නොහැකි තැනකට තල්ලූවෙමින් පවතින බවත්ය.

එය ඉතා ඉක්මනින්ම නිරාකරණය කර ගැනීමට තමා වැඩ බාර ගත් පළමු දිනයේ සිට ඒ සඳහා අදාළ අංශ සමග සාකච්ඡුා කර පිළියම් යෙදීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න ගණනාවකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ ද පැවසීය. ‘‘රටේ ක‍්‍රීඩා කේෂ්ත‍්‍රයේ ‘‘මෆට්’’ කෙනෙක් වෙන්න මට  ඕන නෑ. ඇමැති ධුරයේ වැඩ බාර ගන්න කොටත් මේ රටේ ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ සැබෑ තත්ත්වය ගැන මම හොඳ අවබෝධයක් ලබා තිබුණා.

ඒකට මට උදව් වුණේ මේ රටේ මාධ්‍යයයි. මේ රටේ ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ සිදුවී තිබෙන අර්බුද ගැන ඒ තුළින් මට හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවී තිබෙනවා.

මේ රටේ පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර කළේ මොනවද කියන්න කවුරුත් දන්නවා. පාර්ලිමේන්තුවේ දවසකට මන්ත‍්‍රීවරුන් අහන ප‍්‍රශ්න 15 න් තුනක් හැමදාම අහන්නෙ මමයි. එහෙත් දයාසිරි ක‍්‍රීඩා ඇමැතිවෙලා ප‍්‍රශ්න අනාගන්නේ නෑ.

හැබැයි ඒ සඳහා මට ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ සියලූ පාර්ශවවලින් සහයෝගය ලැබිය යුතුයි. විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ගෙන්. ඒ අයගෙන් මම ඉල්ලා සිටින්නේ විවේචන කරන්න ඉස්සරවෙලා මගෙන් දැනගත යුතු දෙයක් තිබෙනවා නම් කරුණාකරලා අහන්න කියලයි.

මම මඩවලට කැමැති නෑ. හැබැයි සාධාරණ විවේචනවලට මම කැමැතියි. ඒ නිසා මම මාධ්‍යවලට බලපෑම් කරන්න ලෑස්තිත් නෑ. ජාතික ක‍්‍රීඩා සංගම්වලට තමන්ගේ සාධාරණ තීන්දු තීරණවලට අනුව යමින් වැඩ කරන්න මගෙන් කිසිදු බාධාවක් නෑ. මේ රටේ නිවැරදි ක‍්‍රීඩා ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් නොවීම මේ අර්බුදවලට ප‍්‍රධාන හේතුවයි. ඒ නිසා එය නිවැරදි කරන්න මා කටයුතු කරනවා. මේ රටේ ක‍්‍රීඩා නිලධාරින්ගේ ප‍්‍රශ්නය ගැනත් මා දන්නවා. ඔවුන් නිසි ඇගයීමකට ලක් කළ යුතු බවත් මා පිළිගන්නවා. හැබැයි ඒ අයත් මට ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙල ගැන සැලසුමක් මට ඉදිරිපත් කළ යුතුයි. නිකන්ම නිකන් මේවාට අතදාලා මෆට් කෙනෙක් වෙන්න මට අවශ්‍ය නෑ’’.

මේ අතර මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට තවදුරටත් පිළිතුරු දෙමින් අදහස් දැක්වූ ක‍්‍රීඩා ඇමැතිවරයා පවසා සිටියේ ක‍්‍රිකට් නිලවරණය කැඳවීමත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පත්කිරීමත් ඇතුළුව මෙරට ක‍්‍රිකට් ක්‍ෂේත‍්‍රයේ දැවෙන ප‍්‍රශ්න ගණනාවකට තමා ඉදිරි දිනවලදී අදාළ අංශ සමග සාකච්ඡුා කර විසඳුම් ලබා දෙන බවත්ය.

දේශපාලනඥයන් ජාතික ක‍්‍රීඩා සංගම් තනතුරු දැරීම සම්බන්ධයෙන් තමාට කීමට ඇත්තේ එහි හොඳ නරක දෙපැත්තක් තිබෙන බවත් දේශපාලනඥයන්ගේ කැමැත්තට වඩා එය සිදුවී ඇත්තේ බාහිර පාර්ශ්වයන්ගේ උවමනාවන්ට අනුව බවත් ඇමැතිවරයා එහිදී පවසා සිටියේය.

අතුරුපාලන කමිටු ඉවත්කොට ඒවායෙහි ජාතික ක‍්‍රීඩා සංගම් ස්ථාපිත කිරීම ඇතුළු මෙරට ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ දැවෙන ප‍්‍රශ්න ගණනාවකට තමා ඉදිරියේ දී විසඳුම් ලබා දෙන බවත් ඒ සඳහා දැන්ම මත දැරීම දින කීපයක් පමණක් ධුරයේ කටයුතු කළ ඇමැතිවරයෙකුට නුසුදුසු බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

●●●

 


අදහස් (0)

ප‍්‍රශ්න වහා විසඳිය යුතුයි - කී‍්‍රඩා ඇමති දයාසිරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.