Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වසරේ විශිෂ්ටතම කී‍්‍රඩකයා ඩෑන් කාටර්

වසරේ විශිෂ්ටතම කී‍්‍රඩකයා ඩෑන් කාටර්

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික රග්බි පිටියේ අංක එකේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයා බවට පත්වී සිටින ලෝක ශූර  ඕල්බ්ලැක්ස්ලාගේ ඩැන් කාටර් මේ වසරේ අන්තර්ජාතික රග්බි කී‍්‍රඩකයා ලෙස සම්මානයට පාත‍්‍රවිය. ඒ පෙරේදා ලන්ඩනයේ බැටර්සී එවොලියුෂන් හී පැවැති තරු ගැවසුණු ලෝක රග්බි සම්මාන උත්සවයේදීය.


මීට පෙර වසර 2005 දී 2012 දී වසරේ කී‍්‍රඩකයා ලෙසත් සම්මාන දිනා සිටින කාටර් මේ සම්මානයත් සමග සිය  ඕල්බ්ලැක්ස් පිලේ නායක රිචී මැකෝ මෙන්ම තියරි ඩුසෝටියර්, බ‍්‍රයන් හබානා සහ ජොනී විල්කින්සන් වැනි අන්තර්ජාතික රග්බි සම්මාන ති‍්‍රත්වයක් දිනාගත් අතලොස්සට එක්විය.


 ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලා ලකුණු 34-17 කින් පරදවමින් වෙබ් එලිස් කුසලානය නොකඩවා දෙවතාවක් දිනූ එකම රට බවට පත්වූ නවසීලන්තයට වසරේ හොඳම රග්බි පිලට හිමි සම්මානය ලැබිණි.


වොලබීස්ලා පුහුණුකිරීමේ වගකීම බාරගෙන මාස 12 ක් ඇතුලත ඔවුන් රග්බි ශූරතාවලිය අත්කර දීමටත්, මෙවර ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගය දක්වා කැඳවාගෙන යාමටත් සමත්වූ මයිකල් චීකා වසරේ හොඳම පුහුණුකරුවා ලෙස ගෞරවාන්විත සම්මානයෙන් බුහුමන් ලැබුවේය.


අවසන් මහා තරගයේදී වොලබීස්ලාගේ ගෝල් කණුවට ඉහළින් පන්දුව පියාසර කරවා ලකුණු 19 ක්ම රැුස්කළ කාටර් වසරේ වීරයා සම්මානයත් අයිති කර ගත්තේය.


අන්තර්ජාතික රග්බි ටෙස්ට් තරග 112 කට කී‍්‍රඩා කොට ලකුණු 5198 ක් ලබා සිටින මේ විශිෂ්ට කී‍්‍රඩකයා පසුගිය සති කිහිපය තුල නැවත ඔහුගේ සුපුරුදු කී‍්‍රඩා දස්කම් අතරට එක්වී සිටි අතර රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයකට කී‍්‍රඩා කිරීමේ භාග්‍යයත් උදාකර ගෙන තිබිණි.


වසරේ අන්තර්ජාතික රග්බි කී‍්‍රඩකයා ලෙස කාටර් සමග තවත් කී‍්‍රඩකයන් 5 කගේම නම් නිර්දේශ වී තිබීම කැපී පෙනුණි. ඒ අතර ඔහුගේම පිලේ සගයකු වන ජුලියන් සාවියා,  ඕස්ටේ‍්‍රලියාවේ ෆ්ලෑන්කර් මයිකල් හූපර් සහ අංක අටේ කී‍්‍රඩක ඬේවිඞ් පොකොක්, වේල්සයේ දෙවැනි පෙළ කී‍්‍රඩක ඇලන් විල් ජෝන්ස් සහ ස්කොට්ලන්තයේ ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩක ග්‍රෙග් ලඞ්ලෝ වූහ.


”මේක මගේ හීනයක් සැබෑවීමක්”


”අපි අගය කිරීම් බලාගෙන කී‍්‍රඩා කරන්නේ නෑ තමයි. නමුත් මෙවැනි බුහුමන් ලැබීම ඇත්තෙන්ම ආඩම්බරයට කාරණාවක්. මොකද අපි හැමෝම ගොඩක් මහන්සි වෙනවා මේ විදිහට දස්කම් දැක්වීමට.” යයි ඩෑන් කාටර් පැවසීය.


”විශේෂයෙන් මා ගැන කිව්වොත්, පහුගිය අවුරුදු දෙකක් හෝ තුනක් පුරාම විවිධ ආබාධ තියාගෙනයි මම කැපවීමෙන් පුහුණුවීම්වල යෙදුණේ. එහෙමයි ප‍්‍රතිවාදීන් හමුවේ මෙවැනි දස්කම් දක්වලා අපේ කණ්ඩායමේ ජයග‍්‍රහණයට දායකත්වය ලබාදෙන්න මට හැකිවුණේ.... මේක මගේ රග්බි තරග දිවියේ විශේෂ අවස්ථාවක්” යයිද  කාටර් සම්මානය දිනාගැනීමෙන් පසුව කීවේය.


අන්තර්ජාතික වාර්ෂික රග්බි සම්මාන සඳහා ජයග‍්‍රාහකයන් තෝරාගනු ලබන්නේ ස්වාධීන විනිසුරු මඩුල්ලක් විසිනි. එහි සභාපති ලෙස කටයුතු කළේ වසර 1999 ලෝක රග්බි කිරුළ දිනාගත් එංගලන්ත  පිලේ නායක ජෝන් ඊල්ස් ය.


එමෙන්ම අන්තර්ජාතික රග්බි පිටියේ හිටපු කී‍්‍රඩකයන්, මාධ්‍යවේදින් සහ මෙවර තරගමාලාවට එක්වූ කණ්ඩායම් ද සම්මාන සඳහා සුදුස්සන් තෝරාගැනීමට එක්වූහ. මේ වසරේ සික්ස් නේෂන්ස් රග්බි ශූරතාවලියේ සිට වසර අවසානයේ පැවැති ලෝක කුසලාන රග්බි තරගමාලාව දක්වා සෑම රටක්ම තරග කළ සියලූම රග්බි ටෙස්ට් තරග විනිසුරු මඩුල්ලේ අවධානයට ලක්වී තිබිණි.


ලෝක රග්බි සංගමයේ සභාපති බර්නාඞ් ලැපසෙට් මහතා නිතරම කියන පරිදි මෙතෙක් පැවැති හොඳම ලෝක කුසලාන තරගමාලාවට සමගාමීව පැවැති මේ සම්මාන උළෙල අවසන් පූර්ව වටයට කී‍්‍රඩා කළ කණ්ඩායම්වල කී‍්‍රඩකයන්ගෙන් මෙන්ම වෙනත් කී‍්‍රඩා ක්ෂේත‍්‍රවල හා සිනමාවේ හා ගීත ක්ෂේත‍්‍රයේ සුපිරි තරුවලින් බැබැලූණු රැුයක් විය.


”මෙය රග්බි කී‍්‍රඩාවට විශේෂිතම වසරක්”


”මෙතෙක් පැවැති හොඳම ලෝක කුසලාන තරගමාලාවෙන් පසුව මේ වාර්ෂික සම්මාන උළෙල පැවැත්වීමට ලැබිම සතුටක්... අද  මේ සම්මාන දිනපු අය පසුගිය සති හය පුරාම පිටියේ දී දැක්වූ කැපකිරීම අපි හොඳින්ම දැක්කා”


”ලෝක රග්බි කී‍්‍රඩාවේ නාමයෙන් ඔවුන් වෙහෙස නොබලා පරාර්ථකාමීත්වයෙන් යුතුව කටයුතු කළා. අපේ සියලූ සම්මානලාභීන්ට සුබපැතුම්..” උළෙල අවසානයේ ලෝක රග්බි සංගමයේ සභාපති එසේ කීවේය.


 - 077

 


අදහස් (0)

වසරේ විශිෂ්ටතම කී‍්‍රඩකයා ඩෑන් කාටර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.