Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
තවත් වසර 2 කින් කණ්ඩායම් 24 ක සහභාගීත්වයෙන් ඕස්ටේ්රලියාවේදී පැවැත්වෙන 11 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට කඩයිම් 4 ක් තරණය කිරීමට සිදුව තිබේ. ශ්‍රී ලංකාවට එම කඩයිම් 4 ටම මෙම වසර (2025) තුළදී මුහුණදීමට සිදුවන අතර ලෝක කුසලාන වරම් දිනාගැනිම සඳහා ඔවුන් එකින් එක එම කඩයිම් ජයගත යුතුව තිබේ.
ඉකුත් වසරේදී (2024) ඉන්දියාව සහ කසකස්ථානය පරාජය කරමින් ආසියානු රග්බි පළමු කාණ්ඩයේ ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකාවට මෙම වසරේදී එහි ප්‍රිමියම් කාණ්ඩය යටතේ තරග වැදීමට අවස්ථාවක් හිමිව තිබේ. එහෙත් එම අවස්ථාව උදාකර ගැනීම සඳහා ඔවුන් ඉකුත් වසරේදී ප්‍රිමියම් කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ මැලේසියාවට එරෙහිව පැවැත්වෙන තීර්ණාත්මක තරගය ජයගත යුතුය.
ඉකුත් වසරේදී පළමු කාණ්ඩයේ ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකාව සහ ප්‍රිමියම් කාණ්ඩය අවසන් ස්ථානයට පත්වූ මැලේසියාව අතර පිළිමළුන් පිටුදැකීමේ තරගයක් පැවැත්වෙන බවත්, එහි ජයග්‍රාහකයන්ට මෙම වසරේදී ප්‍රිමියම් කාණ්ඩය යටතේද, පරාජිතයන්ට පළමු කාණ්ඩය යටතේද තරග වැදීමට අවස්ථාව උදාවන බවත් ආසියානු රග්බි සංගමයේ සභාපති කයිස් අල් ධලායි මහතා ප්‍රකාශ කළේය.
එබැවින් එම තරගය රග්බි ලෝක කුසලානය කරා යන ගමනේදී ශ්‍රී ලංකාවේ පළමු කඩයිම බවට පත්වනු ඇත. එය ජයගතහොත් පමණක් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැකි වන අතර පරාජයට පත්වුවහොත් ඔවුන්ගේ ලෝක කුසලාන ගමන එතැනින්ම නවතිනු ඇත. එම තරගය පැවැත්වෙන ස්ථානය සහ දිනය සම්බන්ධයෙන් ආසියානු රග්බි සංගමය මේ වන විට ශ්‍රී ලංකා සහ මැලේසියානු රග්බි සංගම් සමග සාකච්චා කරමින් සිටියි.
එම තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ඔවුන්ට මෙම වසරේදී ආසියානු රග්බි ශූරතාවලියේ ප්‍රිමියම් කාණ්ඩය යටතේ හොංකොං, එක්සත් අරාබි එමීර් සහ කොරියා කණ්ඩායම් වලට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත. ලෝක කුසලාන ගමනේ ඉදිරියට යෑමට නම් ශ්‍රී ලංකාව, ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන එම තරගාවලියේ ශූරයන් හෝ අනු ශූරයන් බවට පත්විය යුතුය. එය ශ්‍රී ලංකාවේ දෙවැනි කඩයිම ලෙස හැඳින්විය හැකිය.
ආසියානු රග්බි ශූරතාවලියේ ශූරයන් බවට පත්වුවහොත් ශ්‍රී ලංකාව ඍජුවම රග්බි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගන්නා බැවින් ඉතිරි කඩයිම් දෙකට මුහුණදීමට අවශ්‍ය නොවනු ඇත. එහෙත් එහි අනු ශූරයන් බවට පත්වුවහොත් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් කඩඉමක් තරණය කිරීමට සිදුවනු ඇත. ආසියානු ශූරයන් හෝ අනු ශූරයන් බවට පත්වීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන් මඟ එතැනින් නිමාවට පත්වනු ඇත.
ශ්‍රී ලංකාව ආසියානු අනු ශූරයන් බවට පත්වුවහොත් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා තවත් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වී ඉන් ජය ලැබීමට සිදුවනු ඇත. එහෙත් එම සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීම සඳහා ඔවුන් අප්‍රිකානු රග්බි ශූරතාවලියේ අනු ශූරයන්ට එරෙහිව තරගවැදී ඔවුන් පරාජය කළ යුතුය. එය ශ්‍රී ලංකාවේ තෙවැනි කඩඉම වන අතර ඉන් ජය ලැබීමට හැකි වුවහොත් පමණක් ඔවුන්ට සිවුවැනි සහ අවසන් කඩයිමට ලඟා වීමට අවස්ථාව උදාවනු ඇත.
ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇති අවසන් කඩඉම වන්නේ ඉහත කී සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියයි. දකුණු ඇමරිකානු රග්බි ශූරතාවලියේ තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම, යුරෝපා රග්බි තරගාවලියේ 5 වැනි ස්ථානයට පත්වන කණ්ඩායම, දකුණු ඇමරිකානු රග්බි ශූරතාවලියේ අනු ශූරයන් සහ ශාන්තිකර කළාපීය රග්බි තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්වන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පරාජිතයන් එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත.
ලීග් ක්‍රමයට අනුව මෙම වසර අග භාගයේදී පැවැත්වෙන ඉහත කී සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයන් බවට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම බවට පත්වීමට අවස්ථාව උදාවනු ඇත. 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ දස්කම් අනුව මේ වන විටත් රටවල් 12 ක් 2027 රග්බි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටියි.
කළාපීය වශයෙන් ගත් කළ යුරෝපයෙන් 4 ක්, ශාන්තිකර කළාපයෙන් 3 ක්ද, අප්‍රිකාවෙන්, ආසියාවෙන්, දකුණු ඇමරිකාවෙන් එක බැගින්ද රටවල් 10 ක්ද, දකුණු ඇමරිකානු රග්බි ශූරතාවලියේ අනු ශූරයන් සහ ශාන්තිකර කළාපීය රග්බි තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්වන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ ජයග්රාහකයන්ද සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට පෙර ලෝක කුසලාන වරම් හිමිකරගනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.