Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත පීතරයෝ ත්‍රිත්ව විදුහල පරදවති
අන්තර් පාසල් රග්බි

ශාන්ත පීතරයෝ ත්‍රිත්ව විදුහල පරදවති

editorial - 2024 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු ‍කොටසේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ සුපිරි 4 දෙන‍ාගේ වටය යටතේ ඊයේ (10 වැනිදා) පැවැති තරගයකදී මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව ලකුණු 37-28 ක පහසු ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගනිමින් ලකුණු සටහ‍නේ පෙරමුණ ගැනීමටද ශාන්ත පීතරයෝ සමත් වූහ.

ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 13-12 ක් ලෙස පෙරමුණ ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් වුවද, දෙවැනි අර්ධ‍යේදී ආක්‍රමණ ශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ශාන්ත පීතරයෝ ලකුණු 25 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. ත්‍රිත්ව ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 15 ක් පමණි.

මේ දක්වා මූලික වටයේ තරග 7 කට සහ සුපිරි වටයේ එක් තරගයකට සහභාගි වූ ශාන්ත පීතර විදුහල එම තරග 8 ම ජයගනු ලැබුවේ ප්‍රසාද ලකුණද සමග වීම කැපී පෙනෙන සිදුවීමක් විය. මෙම තරගය ජයගැනීමත් සමග ‘ජනරාල් ඩෙනිස් පෙරේරා අනුස්මරණ කුසාලන’ට හිමිකම් කීමටද ශාන්ත පීතර විදුහල සමත් විය.

මෙම තරගයේදී ශාන්ත පීතර විදුහල ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් සමග ලකුණු ලබාගත් අතර එහිදී විෂේන්ක සිල්වා උත්සාහක දිනුම් 2 ක්ද, නායක දුලාජ් ‍න‍වෝද්‍ය, පසිඳු බණ්ඩර සහ රනිඳු රත්මාල් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථන මෙන්ම ශාන්ත පීතර විදුහලට හිමිවූ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගනු ලැබුවේ රාහුල් පීටර් විසිනි.

ත්‍රිත්ව විදුහල මෙම තරගයේදී ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 ක් සමගිනි. එහිදී උදීෂ රත්නායක, ශාන් අල්තාෆ් සහ නායක තිසංග දිසානායක උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථන මෙන්ම සිය කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 3 ක් සාර්ථක කරගැනීමට යෙවාන් හුලංගමුව සමත් විය.

(ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු)


අදහස් (0)

ශාන්ත පීතරයෝ ත්‍රිත්ව විදුහල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.