Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති

editorial - 2025 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය යටතේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර ඊයේ (3 වැනිදා) ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් ලකුණු 38-10 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
 
පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-05 ක් ලෙස පෙරමුණ ගෙන සිටි සී.ආර්. කණ්ඩායම දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 24 ක් ලබාගත්තේය. එහෙත් යුද හමුදා කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ඒ අනුව සී.ආර්. කණ්ඩායම මෙම තරගයෙන් ප්‍රසාද ලකුණක්ද සමග ජය ලැබීය. 

පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් සී.ආර්. ක්‍රීඩකයන් දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගිනි. යුද හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් මගින්ද, දෙවැනි අර්ධයේදී තවත් උත්සාක දිනුමක් මගින්ද ලකුණු ලබාගත්හ. 

තරගයේ 4 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් සී.ආර්. කණ්ඩායමේ ගැමුණු චේතිය සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සුබේර් දොරේ, ඉන් නොනැවතී 17 වැනි විනාඩියේදී මනිල්ක රුබේරු වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කරගමින් සී.ආර්. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 14 ක් බවට පත්කළේය. 

පළමු අර්ධය නිමාවීමට විනාඩි 7 ක් ඉතිරිව තිබියදී (33 වැනි විනාඩියේදී) යුද හමුදාව වෙනුවෙන්  උත්සාහක දිනුමක් වාර්තා කිරිමට විෂ්ව කල්පන සමත් විය. එහෙත් එතැන් සිට තරගයේ අවසන් විනාඩිය දක්වාම ඔවුන්ට ලකුණු රැස්කිරීමට සී.ආර්. ක්‍රීඩකයෝ ඉඩක් ලබා නොදුන්හ. 

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 10 ක් ඇතුළත උත්සාහක දිනුම් 2 ක් වාර්තා කළ සී.ආර්. කණ්ඩායම සිය ලකුණු සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ දමාගත්හ. සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් 42 වැනි විනාඩියේදී අදීෂ වීරතුංගද, 47 වැනි විනාඩියේදී සුහිරු ඇන්තනීද එම උත්සාහ දිනුම් දෙක වාර්තා කළහ.  

තරගයේ 55 වැනි සහ 70 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට නවීන් මාරපන සමත් වූ අතර එම උත්සාහක දිනුම් දෙකේම ප්‍රවර්ථනයන් සාර්ථක කරගත් සුබේර් දොරේ සී.ආර්.  කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 38 ක් දක්වා ඔසවා තැබුවේය. අවසන් විනාඩියේදී යුද හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ධනුෂ්ක තල්වත්ත සමත් වුවද ඉන් තරගයේ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් සිදු නොවීය. 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.