Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. පිලට ගුවන් ප්‍රහාරයක්
අන්තර් සමාජ පළමු පෙළ

සී.එච්. පිලට ගුවන් ප්‍රහාරයක්

editorial - 2024 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ගුවන් හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර අද (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 36-15 ක පහසු ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. 

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම පළමු අර්ධය නිමාවට පත්වන විට කණ්ඩායම් දෙකම ලකුණු 8 බැගින් ලබා සම තත්වයේ පසු විය. එහිදී කණ්ඩායම් දෙකම උත්සාහක දිනුම බැගින් ලබා, දඬුවම් පහර බැගින් සාර්ථක කරගෙන සිටියේය. 

තරගයේ 12 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ ශානක වෙරැල්ල ගුවන් හමුදාව වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. එතැන් සිට විනාඩි 10 ක් ගතවන විට එනම් 22 වැනි විනාඩියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ නිරෝෂ් පෙරේරා තරගය සම තත්වයට පත් කළේය. 

ගයන්ත ඉද්දමල්ගොඩ 32 වැනි විනාඩියේදී සාර්ථක කරගත් දඬුවම් පහරත් සමග ලකුණු 8-5 ක් ලෙස ගුවන් හමුදාව යළිත් වරක් තරගයේ පෙරමුණ ගත්තේය. එහෙත් විනාඩි 5 ක් ගතවීමටත් මත්තෙන් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගත් දිනේෂ් ද සිල්වා යළිත් වරක් දෙපිලේම ලකුණු තත්වය සම කළේය. 

කෙසේ වුවත් දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 12 ක් ගත වන විට ගෝල දිනුම් දෙකක් වාර්තා කරමින් ලකුණු 22-08 ක් ලෙස තරගයේ වැඩි වාසි තමන් වෙත නතු කර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. 42 වැනි විනාඩියේදී ශෂික ප්‍රනාන්දුද, 52 වැනි විනාඩියේදී ඉෂාර මධුෂාන්ද ලබාගත් උත්සාහක දිනුම්වල ප්‍රවර්ථන සාර්ථක කර ගත් ගයාන් ඉද්දමල්ගොඩ සිය කණ්ඩායම ඉදිරියට ගෙන ආවේය. 

සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට යම් තරමක බලාපොරොත්තුවක් ගෙන ආ නිරෝෂ් පෙරේරා, 70 වැනි විනාඩියේදී සිය දෙවැනි උත්සාහක දිනුම ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ජනිත් චන්දිමාල් සී.එච්. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 15 ක් දක්වා ඔසවා තැබුවේය. 

එහෙත් යළිත් ක්‍රියාත්මත වූ ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගයේ අවසන් විනාඩි දෙකේදී තවත් ගෝල දිනුම් 2 ක් ලබාගනිමින් සිය ලකුණු සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ දමාගත්හ. එහිදී නායක රුමේෂ් වසන්ත (78 වැනි විනාඩියේදී) සහ දර්ෂන දාබරේ (80 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනයන් සාර්ථක කර ගනු ලැබුවේද ගයාන් ඉද්දමල්ගොඩ විසිනි. 


අදහස් (0)

සී.එච්. පිලට ගුවන් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.