Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක්ස් පිලට අනුශූරතාව

හැව්ලොක්ස් පිලට අනුශූරතාව

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 4කට පසුව අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි කුසලානය දිනාගැනීමේ එළිපත්තටම පැමිණ අන්තිමේ දී මහනුවර පිල හමුවේ පැරැදුණු  හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට මෙවර තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. පසුගිය සති අන්තයේදී පැවැති තරගයේදී ලකුණු 36-28 කින් නාවික හමුදා කණ්ඩායම පරදවා ජයගත් නමුත් කුෂලාන දිනාගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවිණ.

වැලිසර නාවික හමුදා පිටියේ ඊයේ පැවැති මේ තරගයේ පළමු භාගය අවසානයේ දී ලකුණු 17-13 ක් ලෙස පෙරමුණ ගෙන සිටි හැව්ලොක්ස් පිල සිය ජයග්‍රහණය ගෝල් 3 කින් සහ උත්සාහක දිනුම් 3 කින් වර්ණවත් කරගත් අතර ඔවුන්ගේ ප්‍රබලතම ක්‍රීඩකයකු වන නිෂොන් පෙරේරා උත්සාහක දිනුම් 3 ක්ම තැබීම කැපී පෙනුණි. නාවික හමුදා පිල ගෝල 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 ක් ලබාගත්තේය.

ස්ටීවන් ග්‍රෙගරි තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ තිළිණ වීරසිංහ නැවියන් ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන යාමෙන් පසුව 22 වැනි මිනිත්තුවේ දී අනගි උත්සාහක දිනුමක් තැබූ හිරන්ත පෙරේරා එය ගෝලයකට බවටද පත්කොට හැව්ලොක්ස් පිලට ලකුණු 7 ක් ගෙනදීමත් සමග තරගය සමවිය.

අනතුරුව නිෂොන් පෙරේරාගේ උත්සාහක දිනුමකින් ලකුණු 12-7 කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිලට දැඩි අභියෝගයක් එල්ල කළ නැවියන් තිළිණ වීරසිංහ සාර්ථක කරගත් දඬුවම් පහර දෙකකින් ලකුණු 13-12 කින් පෙරමුණ ගැනීමට සමත්වූහ. එහෙත් පළමු භාගය නිමාවට පෙර විශිෂ්ට උත්සාහක දිනුමක් තැබූ කෙවින් ඩික්සන් හැව්ලොක්ස් පිල ලකුණු 17කින් ඉහළට ඔසවා තැබුවේය.

දෙවැනි භාගයේ දී කදිම උත්සාහක දිනුමක් තැබූ තිළිණ වීරසිංහ නාවික හමුදා පිල ලකුණු 18-17 කින් ඉදිරියට ගෙන යාමට  සමත්වූ අතර පසුව දඬුවම් පහරක් ද සාර්ථක කරමින් ලකුණු සංඛ්‍යාව 21 දක්වා ඉහළ දැමුවේය.

එහෙත් ඊළඟ මිනිත්තු 10 දී තරගයේ වාසිය උදුරාගැනීමට හැව්ලොක්ස් පිල සමත්වූයේ නිෂොන් පෙරේරා පිට පිට තැබූ උත්සාහක දිනුම් 2 කිනි. ඒ සමගම ඔහුගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය ද වාර්තා විය. ඉන් එක් උත්සාහක දිනුමක් හිරන්ත පෙරේරා විසින් ගෝලයක් බවට පත් කිරීමට සමත්වීමෙන් පසුව හැව්ලොක්ස් පිල ලකුණු 29-21 කින් පෙරමුණ ගත්තේය.

සත්කාරකයන්ට කරට කර සටනක් දුන් නාවික හමුදා පිල අනතුරුව ගයාන් වික්‍රමරත්න තැබූ උත්සාහක දිනුමක් තිළිණ විරසිංහ විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව 28 දක්වා ඉහළ දමාගැනීමට සමත්විය.

එහෙත් තරගය නිමාවීමට මිනිත්තු 10 කට පෙර සෙනාල් ද සිල්වා තැබූ තීරණාත්මක උත්සාහක දිනුම හැව්ලොක්ස් පිලට ලීග් අනුශූරතාව තහවුරු කළේය.

 

- 066


අදහස් (0)

හැව්ලොක්ස් පිලට අනුශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.