Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසරකට වතාවක් රග්බි ක්‍රීඩාවේ නිරතවෙන ආසියානු රටවල ක්‍රීඩකයන්ගේ දස්කම් උරගා බලන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තීරණාත්මක තුන්වැනි සහ අවසන් අදියරේ තරගාවලිය හෙට (15) කොළඹ පැරැණි තුරඟ තරග පිටියේ දී ආරම්භ වෙයි.
ආසියාතික රටවල ප්‍රබලයන්ගේ සිට දුබලයන් දක්වා පිළිවෙළට ශ්‍රේණිගත කෙරෙන මේ තරගමාලාවේ හෙට ඇරැඹෙන තරගාවලියේ දී සත්කාරකත්වයේ වාසිය කරපින්නාගත් ධනුෂ්ක රන්ජන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළිකාර වෙනසක් කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.
මෙවර තරගාවලියේ පළමු අදියර ලෙස පසුගිය මස මුල් භාගයේ දී හොං කොං හී පැවැති තරගාවලියේ දී මෙරට රග්බි ඉතිහාසයේ පළමුවතාවට කුසලාන වටයට සුදුසුකම් ලබා පළමුවතාවට ආසියානු සත් සාමාජික රග්බි අදියරයක අනුශූරතාව හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඉන් නොනැවතී පසුගිය මස අගභාගයේ දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරේදීත් කුසලාන වටයේ අනුශූරතාව හිමිකරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
අදියර දෙකේදීම අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට හරහට හිටි හොං කොං පිල දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ සමස්ත ශූරතාවට එක අතක් තබාගෙනය. 2016 ආසියානු සත් සාමාජික රග්බි කුසලාන ගෙදර රැගෙන යාම සඳහා ඔවුන්ට කුසලාන වටයේ අවසන් තරගයටම සුදුසුකම් ලැබීමේ අවශ්‍යතාවක් නොමැති අතර තුන්වැනි ස්ථානය පමණක් සෑහේ.
ශ්‍රී ලංකාවේ රග්බි ඉතිහාසයට නව පිටුවක් එක් කරලමින් හාහා පුරා කියා ආසියානු සත් සාමාජික රග්බි කුසලානය අත්පත් කරගැනීමටත් මුල් වතාවට ආසියානු සත් සාමාජික රග්බි තරග බිමේ නොම්මර එකේ කණ්ඩායම බවට පත්වීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඇත්තේ සුලු පටු අභියෝගයක් නොවේ. ඒ සඳහා ඔවුන් මේ අදියරේ දී පළමු ස්ථානය අත්පත් කරගත යුතුම වන අතර දැනට ඉදිරියෙන් පසුවන හොංකොං පිල සිවුවැනි ස්ථානයට ඇද දැමිය යුතුව තිබේ.
දැනට ශ්‍රේණිගත කිරීම් අතර ලකුණු 24 ක් ලබා හොංකොං පිල ඉදිරියෙන් පසුවන අතර ශ්‍රී ලංකාව ලකුණු 20 ක් ලබා දෙවැනි තැන සිටී. ලකුණු 16 ක් ලැබූ දකුණු කොරියාව තුන්වැනි ස්ථානයෙත්, චීනය ලකුණු 14 ක් ලබා සිවුවැනි ස්ථානයෙත් රැඳී සිටිති.
එබැවින් හෙට ඇරැඹෙන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුසලාන වටයේ අවසන් තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් ලකුණු 12 ක් එකතුවෙයි. හොංකොං පිල සිවුවැනි තැනට ඇද වැටුණහොත් ඔවුන්ට මේ තරගාවලියෙන් හිමිවන්නේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව සමස්ත තරගමාලාවේ ලකුණු 32 ක් ලබා ආසියානු සත් සාමාජික රග්බි කුසලානය අත්පත් කරගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන අතර සමස්ත ලකුණු 31 ක් ලබන හොංකොං පිලට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත.
එය කෙසේවුවත් ශ්‍රී ලංකාවට ආසියානු සත් සාමාජික රග්බි තරග ඉතිහාසයේ පළමුවතාවට අනුශූරයන් බවට පත්වීමේ අවස්ථාව නම් දැනටමත් ලැබී ඇතැයි වේලාසනින්ම සහතික කොට කිව හැකිය.
හෙට පෙරවරු 11.00 ට ජපානය සහ දකුණු කොරියාව අතර කාන්තා තරගයකින් ඇරැඹෙන මේ තරගාවලියේ පළමු දිනයේ අවසන් තරගය විදුලි ආලෝකධාර මැද පස්වරු 7.28 ට පැවැත්වෙන්නේ චීන තායිපේ සහ සිංගප්පූරුව සමගිනි. තරගාවලියේ දෙවැනි හා අවසන් දිනය වන අනිද්දා (16) කාන්තා හා පිරිමි දෙවැනි වටයේ සිට තරග පැවැත්වෙයි.
‘බී‘ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල පස්වරු 1.12 ට චීන තායිපේ කණ්ඩායම සමගත්. පස්වරු 4.08 ට සිංගප්පූරුව සමගත්, පස්වරු 7.04 ට චීනය සමගත් තරග වැදීමට නියමිතය. ඊට සමගාමීව පැවැත්වෙන කාන්තා තරගාවලියේ ‘සී‘ කාණ්ඩයට එක්වී සිටින රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල හෙට දහවල් 12.06 ට හොංකොං පිල සමග සිය පළමු තරගයට එක්වන අතර පස්වරු 2.40 ට චීනය සමගත්, පස්වරු 5.58 ට සිංගප්පූරුව සමගත් තරග වදී.
පිරිමි තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව සමග හොංකොං, දකුණු කොරියාව, චීනය, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව සහ චීන තායිපේ එක්වී සිටින අතර ශ්‍රී ලංකාව සමග හොංකොං, දකුණු කොරියාව, චීනය, ජපානය, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දියාව කාන්තා තරගාවලියට එක්වී සිටිති.
තායිලන්තයේ රජු භූමිබොල් අඩුල්යාදෙව් අභාවප්‍රාප්ත වූ බැවින් තායිලන්ත කාන්තා රග්බි පිලේ සහභාගීත්වය අද දහවල් වනවිටත් පැවැතුණේ අවිනිශ්චිත තත්ත්වයකය.
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි (පිරිමි) කණ්ඩායම
ධනුෂ්ක රන්ජන් (නායක), රිචඞ් ධර්මපාල, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කාංචන රාමනායක, දනූෂ දයාන්. ජේ්සන් දිසානායක, සුදර්ශන මුතුතන්ත්‍රී, දුලාජ් පෙරේරා, කෙවින් ඩික්සන්. ඕමල්ක ගුණරත්න, තරිඳු රත්වත්ත, කවිඳු පෙරේරා.
පුහුණුකරු - මැට් ටර්නර් මහතා (නවසීලන්තය)
ශාරිරික අභ්‍යාස පුහුණුකරු - නික් ගෲබ් මහතා (නවසීලන්තය)
කළමනාකරු - රොහාන් චින්තක මහතා
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි (කාන්තා) පිල -
රන්දිකා කුමුදුමලී (නායිකා), දසුනි ද සිල්වා, සංදිකා හේමකුමාරී, අයේෂා කලුආරච්චි, අයේෂා පෙරේරා, අනූෂා අත්තනායක, දුලානී පල්ලිකොන්දගේ, හේෂලා කරුණාරත්න, තනූජා දිල්රුක්ෂි, සංජීවනී විජේතිලක, නදීකා මුණසිංහ, චරනී ලියනගේ.
පුහුණුකරු - සුදත් සම්පත්
කළමනාකාරීනී - පියුමිකා තිලකවර්ධන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.