Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ආබාධ නිසා අරමුණ අභියෝගයක් වෙයි

ආබාධ නිසා අරමුණ අභියෝගයක් වෙයි

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන සති අන්තයේ කොළඹ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තීරණාත්මක තුන්වැනි සහ අවසන් අදියරේ තරගාවලියේ දී සමස්ත ශූරතාව අත්පත් කරගැනීම දැනටමත් සහතික කොට ඇති ප්‍රබල හොංකොං කණ්ඩායම හමුවේ සත්කාරක ශ්‍රී ලංකාවට ඇති බලාපොරොත්තු බිඳ වැටෙමින් යන බවක් පෙනෙන්නට තිබේ.

මේ අන්දමේ ඉරණමකට මුහුණපෑමට සත්කාරකයන්ට සිදුවී ඇත්තේ සිය ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක්ම ආබාධ ගණනාවකට ලක්වී සිටින බැවිනි.

මෙවර තරගාවලියට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක ඇති ක්‍රීඩකයන් අතර දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකිවූ හිටපු නායක සුදර්ශන මුතුතන්ත්‍රී, ජේසන් දිසානායක සහ කෙවින් ඩික්සන් ද වෙති. කොළඹ පැවැත්වෙන අවසන් අදියරේ තරගාවලියේ දී යළි කණ්ඩායමට එක්වීමට ඔවුහු බලාපොරොත්තුවෙන් පසුවූවත් ආබාධ සහ ශාරිරික යෝග්‍යතා පිළිබඳ ඇති ගැටළු නිසා අවසන් කණ්ඩායම තේරීම කල්දැමීමට සිදුවී තිබිණ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියකු කී පරිදි සත්කාරක රට වන හෙයින් ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තුන්වැනි සහ අවසන් අදියරේ තරගාවලියට කණ්ඩායම නම් කිරීම දින කිහිපයකට කල් දැමිය හැකිය.

හොං කොං නුවර සහ දකුණු කොරියාවේ දී අදියර දෙකක් නිමාවට පත්වීමෙන් පසුව ඉන් ප්‍රසාද ලකුණු 24 ක් ලබා හොං කොං පිල ඉදිරියෙන් පසුවෙයි. ඔවුන් එම අදියර දෙකම  ජයගෙන ප්‍රසාද ලකුණු 12 බැගින් රැස් කරද්දී ඒ දෙවාරයේදීම අනුශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 10 බැගින් මුලු ලකුණු 20 ක් ලබා සිටී.

තරගාවලියේ මෙතෙක් තුන්වැනි තැනට පත්වී ඇත්තේ අදියර දෙකේදීම ප්‍රසාද ලකුණු 8 බැගින් මුලු ලකුණු 16 ක් ලබා ඇති දකුණු කොරියාවයි. ඒ අදියර දෙකේදීම ප්‍රසාද ලකුණු 7 බැගින් මුලු ලකුණු 14 ක් ලැබූ චීනය සිවුවැනි තැනට පත්ව සිටී.

දැනට පවතින මේ තත්ත්වය සහ ඔවුනොවුන්ගේ හැකියාවන් මත ලබන සෙනසුරාදා සහ ඉරිදා කොළඹ තුරඟ තරග පිටියේ දී වෙනස් වනු ඇත.

දැනට පවතින තත්ත්වය අනුව සමස්ත ශූරතාව අත්පත් කරගැනීමේ වැඩිම වාසිය ඇත්තේ හොං කොං පිලටය.

ඔවුන්ට දැනට ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 12 ක් එක් කර ගනිමින් මුලු ලකුණු 36 ක් ලබා සමස්ත ශූරතාව පිට පිට තුන්වැනි වතාවටත් දිනාගැනීමේ වැඩිම අවස්ථාව හිමිවී ඇත්තේ ඔවුන්ටය. ඔවුන් කොළඹ අදියරේ ජය හිමිකර නොගත්තද සමස්ත තරගාවලියේ ජය ලැබීම තහවුරු කරගෙන තිබේ.
 
කුසලානය කරා යන ඔවුන්ගේ ගමන වැළක්විය හැකි එකම ක්‍රමය වන්නේ හොං කොං පිල පරාජය කිරීමට වඩා දකුණු කොරියාව, චීනය සහ සෙසු ඕනෑම කණ්ඩායමක් පරාජය කරමින් ශ්‍රී ලංකාව කොළඹ අදියර ජයගැනීමය. කොළඹ දී හොංකොං පිල අඩුම තරමින් සිවුවැනි තැනටවත් ඇද වැටිය යුතු අතර එය සිදුවිය යුතුවන්නේ කිසිවකුට සමීප විය නොහැකි ලෙස වාර්තාගත අන්දමිනි.

ජපානය (7), චීන තායිපේ (6), මැලේසියාව (6) සහ සිංගප්පූරුව (5) පිළිවෙළින් පස්වැනි තැන සිට අටවැනි තැන දක්වා ස්ථානගතවී සිටින අතර ඔවුන්ගේ වත්මන් තත්ත්වය අනුව අනික් කණ්ඩායම්වලට අභියෝග කිරීමට කිසිදු අයුරකින් නොහැකිය.

කොළඹ අදියර සඳහා හොංකොං, දකුණු කොරියාව, මැලේසියාව සහ ජපානය ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වදින අතර සත්කාරක ශ්‍රී ලංකාව, චීනය, චීන තායිපේ සහ සිංගප්පූරුව තරග වදින්නේ ‘බී‘ කාණ්ඩයෙනි.

මෙවර කොළඹ අදියරේ පළමු තරගය ලබන සෙනසුරාදා මධ්‍යහ්න 12.28 ට හොංකොං සහ ජපානය අතර පැවැත්වෙයි. අනතුරුව දකුණු කොරියාව සමග මැලේසියාවත්, ශ්‍රී ලංකාව සමග චීන තායිපේ කණ්ඩායමත්, චීනය සහ සිංගප්පූරුවත් වශයෙන් සෑම මිනිත්තු 25 කට වරක් තරගයක් පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවට මූලික වටයේ දෙවැනි තරගය ලෙස සිංගප්පූරුව මුණ ගැසෙන්නේ එදින පස්වරු 4.08 ටය.  නමුත් ශ්‍රී ලංකා පිලේ නියම පරීක්ෂණය ඇත්තේ පස්වරු 7.04 ට පැවැත්වෙන චීනයට එරෙහි තරගයේදීය.

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර හොංකොං පිල ජයගත්තේ ලකුණු 22-17කින් ශ්‍රී ලංකාවට තියුණු පරාජයක් අත්කොට දෙමිනි. නමුත් දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියර ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 36-0කින් ඉතා ජවසම්පන්න අයුරින් ජයගැනීමට හොංකොං පිල සමත්විය.

දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරේ තරගාවලියට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල මෙවර අවසන් අදියරේ තරගාවලියේ දී ‘සී‘ කාණ්ඩයෙන් තරග බිමට එක්වන්නේ චීනය, හොංකොං සහ සිංගප්පූරුවත් සමගිනි. ජපානය, තායිලන්තය, දකුණු කොරියාව සහ ඉන්දියාව ‘ඩි‘ කාණ්ඩයට එක්වී සිටිති.

හොංකොං පිල සමග සෙනසුරාදා මධ්‍යහ්න 12.06 ට සිය පළමු තරගයට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අනතුරුව චීනයට එරෙහිව පස්වරු 2.40 ටත්. සිංගප්පූරුවට එරෙහිව පස්වරු 5.58 ටත් තරග බිමට පිවිසෙති.


- ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

 


අදහස් (0)

ආබාධ නිසා අරමුණ අභියෝගයක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.