Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner එංගලන්තයෙන් අනුකම්පා විරහිත ප්‍රහාරයක්

එංගලන්තයෙන් අනුකම්පා විරහිත ප්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශයේ රග්බි ක්‍රීඩාව අඳුරු මාවතකට තල්ලු කරමින් ඉතා සාහසික ලෙස ලෙස් බ්ලූස් කණ්ඩායම ලකුණු 44-8 කින් පරාජයට පත් කළ එංගලන්ත ක්‍රීඩකයෝ සය කොන් රග්බි තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූහ.

ට්විකන්හැම් රග්බි පිටියේදී ඊයේ පැවැති මේ තරගයේදී පරාජයේ මාවත දිගේ ලෙස් බ්ලූස්ලා ඇදගෙන යාමට එංගලන්තයේ රතු සහ සුදු කණ්ඩායම පටන් ගත්තේ 70 වැනි තත්ත්පරයේ සිටය. පළමු මිනිත්තු 29 ඇතුළත සෙන්ටර් ක්‍රීඩක ජොනී මේ එක හුස්මට තැබූ විස්මිත උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් ප්‍රතිවාදීහු අන්දමන්ද වූහ. ඉන් පසුව උත්සාහක දිනුම් 6ක්ම තබනතුරු එංගලන්ත පිල ආපසු හැරී බැලුවේම නැත.

තරගයේ වැඩිම ඵල නෙලාගත් ක්‍රීඩකයා බවට පත්වූ ජොනී මේ ගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් දෙවැනි උත්සාහක දිනුම අති විශිෂ්ට විය. නමුත් පළමු භාගයේ එංගලන්ත පිල තැබූ උත්සාහක දිනුම් 4 ම ප්‍රංශ ආරක්ෂක වළල්ලේ විශාල හිඩැස අතරින් වැටුණු අහස් බෝම්බ බවට පත්වී තිබිණි.

පළමු භාගයේ මැද හරියේදී ඬේමියන් පෙනෝඞ් කදිම උත්සාහක දිනුමක් ප්‍රංශයට ගෙනදීමට සමත්වූවත් සිය සත්කාරයන්ගේ දරුණු ප්‍රහාරය හමුවේ ලෙස්බ්ලූස්ලාගේ ප්‍රබලම අවි බවට පත්වී සිටින පෙනෝඞ් ඇතුළු යොආන් හියුගාට් සහ ගයිල් ෆිකෝව්ට කට උත්තර නැතිවිය.

පළමු භාගය නිමාවනවිට ලකුණු 30-8 කින් පසුබා සිටි ප්‍රංශයට දෙවැනි භාගයේදී කිසිදු ලකුණක් ලැබීමට නොහැකිවීමෙන් වසර 2005 දී මෙන් මෙවරත් සය කොන් රග්බි තරගාවලියේ කිසිදු ජයග්‍රහණයකින් නොලැබීමේ අපකීර්තියට පත්වීමේ අවදානමකට ලක්වී සිටී.

මෑත කාලයේ සිට එංගලන්ත පිල වේලාසනින්ම උත්සාහක දිනුම් ගොන්නක් වාර්තා කිරීමට විශේෂඥවරු බවට පත්වී සිටිති. පසුගිය කාලයේදී ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය සහ ජපානය සමග මෙන්ම සය කොන් තරගාවලියේ පළමු වටයේදීත් ඔවුහු මේ වැඬේට පුරුදුකාරයෝ වී සිටිති.

පළමු වටයේදී වේල්සය හමුවේ පරාජයට පත්වූ ලෙස් බ්ලූස්ලා ඊයේ තරගයේදී වෙනස්කම් හයක්ම කර තිබුණත් එයින් කිසිදු වැඩක් වූයේ නැත. පෙනෝඞ්ගේ උත්සාහක දිනුමට දුන් සහයෝගය හැරෙන්නට ඔවුන් වැඩි බලාපොරොත්තු තැබූ හියුගාට්ගෙන් අන් කිසිවක් නොලැබිණි.

එය කෙසේ වුවත් මේ තරගය එහෙම පිටින්ම එංගලන්තය සතු එකක් විය. මාර්ක් විල්සන් සහ ටොම් කරී යන ෆ්ලැන්කර්ස්ලා දෙදෙනා විනිසුරුගේ අන්තිම නලා හඬ දක්වා විස්මිත වැඩ කොටසක් ඉටු කළහ. මැනූ ටුයිලාගි සහ හෙන්රි ස්ලේඞ්ගේ මැදපෙළ සම්බන්ධතාව එය තවත් තීව්ර කළේය. එංගලන්ත පිලේ සිවුවැනි උත්සාහක දිනුම තබනු ලැබුවේ ද ස්ලේඞ් විසිනි.  එය වාර්තා වූයේ මේ ගේ විස්මිත උත්සාහක දිනුම් 3 කට පසුව 39 වැනි මිනිත්තුවේදීය.

දෙවැනි භාගයේදී එංගලන්තය වාර්තා කළ උත්සාහක දිනුම් 2 කින් පළමුවැන්න පැනල්ටි ට්‍රයි එකකි. තරගයේ 48 වැනි මිනිත්තුවේදී එම පැනල්ටි ට්‍රයි දිනුම එංගලන්තයට ලබාදීමට සිය වාර්තාගත 20 වැනි තරගයට එක්වී සිටින විනිසුරු නයිජල් ඔවන්ස් තීරණය කළේ කැමිල් ලොපේස් පිරිනැමූ පන්දුව ස්ලේඞ් සියතට ගැනීමටත් පෙර ෆිකෝව් දැමූ නීතිවිරෝධී කකුල් මාට්ටුව නිසාය. ඉන් එංගලන්තයට පැනල්ටි ට්‍රයි දිනුමක් ලැබෙද්දී කහ කාඞ් පතෙන් සංග්‍රහ බලා පිටියෙන් ඉවත්වීමට ෆිකෝව්ට සිදුවිය.

55 වැනි මිනිත්තුවේදී එංගලන්ත පිලේ 6 වැනි උත්සාහක දිනුම වාර්තා කළේ ඕවන් ෆැරල්ය. ඔහු සිය උත්සාහක දිනුම ප්‍රවර්තනය කරගත් අතර තරගය පුරාම එවැනි ප්‍රවර්තන 3 ක්ම සාර්ථකව ඉටු කළේය. ඊට අමතරව 6 වැනි සහ 12 වැනි මිනිත්තුවලදී දඬුවම් පහර දෙකකුත් සාර්ථක කරමින් සිය කණ්ඩායමට ලබාදුන්නේ පුදුමාකාර සහයෝගයකි.

පෙනෝඞ්ගේ උත්සාහක දිනුමට අමතරව ලෙස් බ්ලූස්ලා ලැබූ එකම දඬුවම් පහර 9 වැනි මිනිත්තුවේදී වාර්තා කරනු ලැබුවේ පැරා විසිනි.

තරගයේ 1, 23 සහ 28 මිනිත්තුවලදී උත්සාහක දිනුම් ත්‍රිත්වය තැබූ ජොනී මේ මෙවර තරගාවලියේ දැනට උත්සාහක දිනුම් 4 ක් තබා සිටින අතර පසුගිය වසරේ තරගාවලියේදී ජේකොබ් ස්ටොක්ඬේල් තැබූ තරගාවලියක වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට අවශ්‍ය වී ඇත්තේ තවත් උත්සාහක දිනුම් 3 ක් පමණි.

 

සැකසුම : මොහාන් ප්‍රනාන්දු


අදහස් (0)

එංගලන්තයෙන් අනුකම්පා විරහිත ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.