Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ගුවන් හමුදා ක්‍රීඩකයෝ සී. එච් පිල අසරණ කරති

ගුවන් හමුදා ක්‍රීඩකයෝ සී. එච් පිල අසරණ කරති

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් හමුදා රග්බි පිල හමුවේ ලකුණු 53-17 පරාජයක් උරුම කරගත් සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි වරටත් පරාජයේ වේදනාව විඳ දරාගත්තේය. රත්මලාන ගුවන් හමුදා පිටියේ දී සිකුරාදා පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 26-12 කින් පෙරමුණ ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගය පුරා උත්සාහක දිනුම් 9 ක් තබමින් සී.එච්. පිල පහළටම ඇද දැමූහ. ඉන් 4ක්ම ගෝල බවට පත් කිරීමට සමත්වූයේ ගයන්ත ඉද්දමල්ගොඩය. සඳරුවන් අධිකාරී, සාරක වැරැල්ල, කෞෂාල් මනුප්‍රිය සහ පබසර හේවගේ ගුවන් හමුදා පිල වෙනුවෙන් උත්සාහක දිනුම් 2 බැගින් තැබීමට සමත් වූ අතර ඉතිරි උත්සාහක දිනුම තබනු ලැබුවේ දිනේෂ් වීරරත්න විසිනි.

බිමල් ජයසිංහගේ උත්සාහක දිනුම් 2 ත්, රෙයාන් ප්‍රනාන්දුගේ උත්සාහක දිනුමත් හැරුණු විට සී.එච්. පිලෙන් වැඩි දස්කමක් පෙනෙන්නට තිබුණේ නැත.

සඳරුවන් අධිකාරීගේ උත්සාහක දිනුමක් ගයන්ත ඉද්දමල්ගොඩ විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් 7-0 කින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ ගුවන් හමුදා පිල පළමු භාගය නිමාවෙද්දී උත්සාහක දිනුම් 4 ක්ම තබා තිබිණි. ඉතිරි උත්සාහක දිනුම් 5 ම වාර්තා වූයේ දෙවැනි භාගයේදීය.

මෙවර තරගාවලියේ සී.එච්. පිලට ඉතිරිව ඇති අන්තිම තරගය ලබන සති අන්තයේ මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගය පමණි. එබැවින් තරගාවලියේ පරාජිතයන් අතර ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම බවට පත්වෙමින් අසාර්ථක තරගාවලියක් නිමා කරගැනීමට හැර සී.එච්. පිලට කළ හැකි අන් දෙයක් නොමැත.

 


අදහස් (0)

ගුවන් හමුදා ක්‍රීඩකයෝ සී. එච් පිල අසරණ කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.