Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner නාවිකයන්ගෙන් හොඳ ආරම්භයක්

නාවිකයන්ගෙන් හොඳ ආරම්භයක්

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයහපත් කාලගුණය මැද වුවත් පොලිස් ක්‍රීඩාංගණයට එක්රොක් වී සිටි සෑහෙන තරම් ක්‍රීඩාලෝලීන් සමූහයක් ඉදිරියේ ඩයලොග් අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ ආරම්භක තරගයෙන් සත්කාරක පොලිස් කණ්ඩායම ලකුණු 29-8 කින් පරාජය කිරීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගය නිමාවට පත්වෙද්දී නැවියන් ගෝල් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට සමත්වූ අතර පරාජිත පොලිස් කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ රග්බි ඉතිහාසයේ පළමුවතාවට රූපවාහිනී තරග නිලධාරියකුගේ සේවයලද අද තරගයේ ආරම්භයේ සිටම පෙරමුණ ගත් නැවියන්ට පළමු උත්සාහක දිනුම ගෙන දෙනු ලැබුවේ සත්‍යා රණතුංග විසිනි. ඔහු උත්සාහක දිනුම් දෙකක්ම වාර්තා කිරීමට සමත්විය.  තරගයේ පළමු භාගය නිමාවට පත්වෙද්දී ලකුණු 14-8 කින් නැවියන් ඉදිරියට ගියේ තිළිණ වීරසිංහගේ නොවරදින ඉලක්කයෙන් උත්සාහක දිනුම් දෙකක්ම ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කරමිනි.

ඒ අතරතුර කාලයේ නැවියන්ගේ ලකුණු සංඛ්‍යාව ලුහුබැඳ ගිය පොලිසිය වෙනුවෙන් රීසා රෆායිදීන් උත්සාහක දිනුමක් වාර්තා කළත් එය ගෝලයක් බවට පත් කිරීමට තිළිණ වීරසිංහට හැකිවූයේ නැත. කෙසේවුවත් ඔහු දඬුවම් පහරකින් සිය කණ්ඩායමට යම් සහනයක් ගෙන දුන්නේය.

දෙවැනි භාගයේදී තම හතර මායිමටවත් පොලිසියට එන්නට ඉඩ නොදුන් නැවියෝ තවත් උත්සාහක දිනුම් 2 ක්ම තැබීමට සමත් වූහ. ලී කීගල් සහ චානක චන්දිමාල් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් එක උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ තිළිණ දඬුවම් පහරක්ද සාර්ථක කරගත්තේය.

තරගයේ පළමු භාගයේ දී නාවික හමුදා පිලේ ලී කීගල් තැබූ උත්සාහක දිනුමක් වෙනුවෙන් පළමුවතාවට රූපවාහිනි තරග නිලධාරියාගේ සහය ලබාගැනීමට තරග තීරක කටයුතු කළේය. එය උත්සාහක දිනුමක් නොවන බවට රූපවාහිනී නිලධාරි තැන සනාථ කළේය.

රූපවාහිනී තරග නිලධාරි ලෙස විමල් පෙරේරා මහතා කටයුතු කළ අතර තරග තීරකවරයාගේ කාර්ය භාරය ඉටු කරනු ලැබුවේ අරුණ රන්කොත්ගේ මහතා විසිනි.

මෙම තරගයේදී පොලිස් කණ්ඩායම ක්‍රීඩා කළේ තමන්ට සුපුරුදු බැනියමේ කණපිට ඇඳගෙනය.

පොලිස් පිල මෙන්ම නාවික හමුදා පිලද නිල් සහ සුදු ඉරි සහිත බැනියම් ඇඳ සිටි බැවින් තමන්ගේ බැනියමේ කණපිට ඇඳ ක්‍රීඩා කරන ලෙස සත්කාරක පොලිස් පිලට තරග විනිසුරුවරයා උපදෙස් දුන්නේය. මේ හේතුවෙන් තරගය විනාඩි 15 ක පමණ කාලයක් පමා වුවද අවසන් ප්‍රතිඵලයට එයින් බලපෑමක් ඇති නොවිණ.

ඡායාරූප - විකුම් ප්‍රියදර්ශන

 


අදහස් (0)

නාවිකයන්ගෙන් හොඳ ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.