Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner මරීජා සමුගැනීමේ නිවේදනය නිකුත් කරයි

මරීජා සමුගැනීමේ නිවේදනය නිකුත් කරයි

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 14 ක් රග්බි ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ මහනුවර ක්‍රීඩා සමාජයේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාසිල් මරිජා අන්තර්ජාතික රග්බි ක්‍රීඩාවේ ප්‍රධාන මුහුණුවරින් සමුගැනීමට තීරණය කර තිබේ. පළමු පෙළ රග්බි තරග වලදී මරීජා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අවසන් තරගාවලිය ලබන මැයි මස මැලේසියාවේ දී පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලියයි.

31 හැවිරිදි මේ විශිෂ්ට ක්‍රීඩකයා පසුගිය වසරේදී ජාතික පිලේ නායකත්වයෙන් ඉවත්වූ අතර මින් ඉදිරියේදී ආසියානු රග්බි ශූරතාවලියෙන් පසුව ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ සත් සාමාජික ක්‍රීඩාවෙන් පමණි.

එසේ වුවත් මේ වසර අවසානයේ දී ආරම්භ වන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේදී ඔහු සුපුරුදු පරිදි මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දේශීය රග්බි තරග බිමේ ක්‍රීඩා කරනු ඇත. එය ඔහු දේශීය රග්බි පිටියේ ක්‍රීඩා කරන අවසන්  තරගාවලිය ද වනු ඇත.

“ජාතික රග්බි කණ්ඩායමේ බැනියම ඇඳ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම මගේ ජීවිතයේ වඩාත්ම ආඩම්බරයට පත්වුණු කාරණාවයි”

“අවුරුදු 14කට පස්සේ, 15 සමාජික කණ්ඩායමෙන් සමුගන්න මම තීරණය කළා. රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීමෙන් මා කෙතරම් ආඩම්බරයට පත්වුණු තරමටම මේ තීරණය මට විශාල වේදනාවකුත්  ඇතිකළා. ඒත් කොයිතරම් හොඳ දේවල් වුණත් ඒවාටත් අවසානයක් තියෙනවා”

“මම දිගටම ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායම නියෝජනය කරනවා. ඒත් අපි මැලේසියාවේ දී ක්‍රීඩා කරන එළැඹෙන ආසියානු රග්බි ශූරතාවලිය රට වෙනුවෙන් ක්‍රීඩා කරන මගේ අන්තිම 15 සාමාජික රග්බි තරගාවලියයි” ෆාසිල් මරිජා සිය සමුගැනීමේ නිවේදනය නිකුත් කළේ එලෙසිනි.

මහනුවර කිංග්ස්වුඞ් විදුහලෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි ෆාසිල් ජාතික කණ්ඩායම පළමුවරට නියෝජනය කළේ 2003 වසරේදී නිත්තවෙල පිටියේ දී හොංකොං කණ්ඩායම සමග පැවැති ආසියානු රග්බි ශූරතාවලියේ තරගයකදීය.

ඔහුගේ නායකත්වය යටතේ ජාතික කණ්ඩායම මෙන්ම මහනුවර ක්‍රීඩා සමාජයත් 15 සාමාජික රග්බි පිටියේ දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් අත්කරගැනීමට සමත්විය.

 


අදහස් (0)

මරීජා සමුගැනීමේ නිවේදනය නිකුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.