Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner රග්බි ක්‍රීඩාව නව මාවතකට

රග්බි ක්‍රීඩාව නව මාවතකට

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එළැඹෙන සති කිහිපය තුල දී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය ඉතා වැදගත් තීරණ තුනක් ගැනීමට නියමිතව ඇතැයි රග්බි සංගමයේ ලේකම් නසීම් මොහොමඞ් මහතා ප්‍රකාශ කරයි. මේ අතරින් වඩාත් වැදගත් තීරණය වන්නේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිල නාමය ශ්‍රී ලංකා රග්බි (SLR) ලෙස වෙනස් කිරීමය. ඊට සමගාමීව නව භාණ්ඩාගාරිකවරයකු පත් කිරීමත් සිදු කෙරේ.


මේ තීරණ ද්විත්වයම බොහෝවිට ලබන නොවැම්බර් මස 1 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා රග්බි සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමෙන් පසුව ක්‍රියාත්මක කෙරෙනු ඇත.


ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය ගැනීමට නියමිිත තවත් වැදගත් තීරණයක් වන්නේ එළැඹෙන ඩයලොග් අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් තරගාවලියට රූපවාහිනී තරග නිලධාරියකුගේ (TMO) පහසුකම යොදා ගැනීමය.


“රග්බි ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට නම් අපි කැමතිවුවත් නැතත් වත්මන් ලෝකය යන දිශාවට අපත් යා යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා රග්බි සංගමයේ නම ශ්‍රී ලංකා රග්බි යනුවෙන් වෙනස් කිරීමත්, දේශීය තරගාවලිවලට රූපවාහිනී තරග නිලධාරියකු යෙදවීමත් වැදගත් තීරණ”


“අපි කොහෙන් හරි මේක පටන් ගන්නයි ඕනේ” යයි රග්බි ලේකම් නසීම් මොහොමඞ් මහතා කීවේය.


ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ නිල නාමය ශ්‍රී ලංකා රග්බි ලෙස වෙනස් කිරීමට තීරණය කිරීම වසර 2003 දී එවකට ශ්‍රී  ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙස නම වෙනස් කිරීම මෙන් ව්‍යයුහාත්මක හා ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් කෙරෙන්නක් බව පෙනී යයි. නමුත් මොහොමඞ් මහතා පැහැදිලිව  කියා සිටියේ එය ලොව පුරා වර්තමානයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් කෙරෙන ප්‍රතිසංස්කරණයක් මිස වෙනත් අරමුණකින් කෙරෙන්නක් නොවන බවය.


“ඔබ අන්තර්ජාතික රග්බි පාලක මණ්ඩලය (IRB), නවසීලන්ත රග්බි සංගමය හෝ ඕස්ටේ්‍රලියානු රග්බි සංගමය ගෙන බලන්න මේ තුනම ප්‍රතිසන්නාමගත කොට ඇත්තේ අන්තර්ජාතික රග්බි, නවසීලන්ත රග්බි සහ රග්බි ඕස්ටේ්‍රලියා ලෙයසි”


“ඒ විදිහට ශ්‍රී ලංකා රග්බි සංගමයේ නමත් වෙනස් කිරීම ඉතා සරලව කියනවානම් අඩුම තරමේ දැන්වත්  අපි  ලෝකය යන විදිහට අනුගත වීය යුතුයි කියන එකයි.... ඉන් අපේ අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඉතා පහසු වේවි. ඒ වගේම හැම අතින්ම අපේ රග්බි ක්‍රීඩාවට උපකාරී වේවි” යයිද ඔහු වැඩි දුරටත් කීවේය.


විගණන වාර්තාව කියැවීමත්, නව භාණ්ඩාගාරිකවරයකු තෝරා පත් කරගැනීමේ එකම ඡන්ද විමසීමත් වෙනුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම නොවැම්බර් මස 1 වැනිදා පැවැත්වීමට නියමිතය.


ඡන්ද විමසීමකින් තෝරාපත් කරගැනීමෙන් මාස තුනකට පසුව යළි හිස්වූ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ භාණ්ඩාගාරික තනතුරට  සාන්ත තෝමස් විදුහල් පළමුපෙළ රග්බි පිලේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම ආධුනික මලල ක්‍රීඩා සංගමයේ රග්බි ක්‍රීඩා කමිටුවේ හිටපු සභාපතිවරයකු ද වන රවී අබේගුණවර්ධන මහතා පත්වීමට නියමිතය. මේ තනතුර පුරප්පාඩු වූයේ ජූනි මාසයේ දෙවැනි සතියේ දී ශ්‍රී ලංකා රග්බි සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙස තෝරා පත් කරගත් ඒ.ඒ.එම්.රියාස් මහතා පෞද්ගලික හේතු කාරණා දක්වමින් හදිසියේම ඉවත්වීමෙනි.


“නිර්වේතනික වගකීමක් වන ශ්‍රී ලංකා රග්බි සංගමයේ භාණ්ඩාගාරික තනතුරට අමතරව රියාස් මහතා බැංකු නිලධාරියකු විදිහට රැකියාව කරනවා. ඔහුට මෑතකදී උසස්වීමක් ලැබුණු නිසා මේ තනතුරු දෙකම කරගෙන යාම ඉතා දුෂ්කර කාරණාවක් වුණා”


“ඒ නිසා ඔහු හැර යන මේ තනතුරට සුදුසු පුද්ගලයකු පත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියා. නොවැම්බර් 1 වැනිදා පැවැත්වෙන අපේ වාර්ෂික මහ සභා රැස්වීමෙන් පසුව නව භාණ්ඩාගාරිකවරයකු පත් කෙරෙන තුරු ඔහු මේ තනතුරේ වැඩ කරාවි” යයි මොහොමඞ් මහතා පැවැසීය.


ඉහත කී වෙනස්කම් දෙක හැරුණුවිට නොවැම්බර් මස 4 වැනිදා ඇරැඹෙන මෙරට ප්‍රමුඛතම දේශීය රග්බි තරගාවලියට රූපවාහිනී තරග නිලධාරියකු යොදාගැනීම ගැන පැහැදිලි කළ මොහොමඞ් මහතා කියා සිටියේ තරග පැවැත්වෙන සතියකට වතාවක් හෝ මේ පහසුකම යොදා ගෙන එහි වැදගත්කම පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා අරඹා මතු කාලයේදී එම පහසුකම අනිවාර්ය කළ යුතු බවය.


“දේශීය තරගවලට රූපවාහිනී තරග නිලධාරියකු (ටී.එම්.ඕ.) යොදාගන්නා ආකාරය ගැන අපි තව දුරටත් සාකච්ඡා කරමිනුයි ඉන්නේ. මේ වනවිට අඩුම තරමින් සතියකට එක් තරගයකට හෝ තරග දෙකකට පමණ යොදාගැනීමටයි බලාපොරොත්තුව”


“මේ සඳහා අතිවිශාල මුදලක් වැය කරන්නට සිදුවෙනවා. නමුත් අපි දැන් මේ සඳහා අයෝජනය කළොත් අපි නිසැක වශයෙන්ම පියවරක් ඉදිරියට තැබුවා වෙනවා” යයි කී ලේකම්වරයා...


“සාකච්ඡා වට වැඩිවෙන්න වැඩිවෙන්න ටී.එම්.ඕ. ක්‍රමයේ බොහෝ ලක්ෂණ ගැන අවබෝධයක් වගේම එය භාවිතා කළ යුතු ආකාරය ගැනත්, මේ පිළිබඳ සොයා බැලීමට වෙනම කමිටුවක් තිබිය යුතු ද යන්න ගැනත් අවබෝධයක් ඇතිවේවි. දැනට ඒක මූලික අදියරේ තියෙන්නේ. ඒත් ඒක තිබිය යුතුවූ එකක්” යයිද අවධාරණය කළේය.

 

- ද සන්ඬේ ටයිම්ස් අනුග්‍රහයෙනි

 


අදහස් (0)

රග්බි ක්‍රීඩාව නව මාවතකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.