Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner වේල්සය වේගවත් ගමනකට සැරසෙයි

වේල්සය වේගවත් ගමනකට සැරසෙයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පිල පරාජයේ ආගාධයට තල්ලු කරමින් හයකොන් රග්බි තරගාවලියේ තුන්වැනි වටයේදී අපරාජිත එකම කණ්ඩායම ලෙස පෙරමුණ රැකගත් වේල්සයේ එකම අරමුණ ග්‍රෑන්ඞ් ස්ලෑම් ආකාරයෙන් මෙවර ශූරතාවලිය දිනා ගැනීමයි. මේ වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින වේල්සය සිය අරමුණ කරා යන ගමන වේගවත් කිරීමට අද රාත්‍රීයේදී ස්කොට්ලන්තය සමග තරග බිමට පිවිසෙයි.

පිට පිට ටෙස්ට් තරග 12 ක් ජයගනිමින් නව වාර්තාවක් පිහිටුවූ වේල්සයේ වත්මන් පුහුණුකරු වොරන් ගැට්ලන්ගේ කණ්ඩායම ග්‍රෑන්ඞ් ස්ලෑම් ආකාරයෙන් කුසලානය දිනාගැනීමට කුරුමානම් අල්ලමින් සිටින්නේ මෙවර තරගාවලියෙන් පසුව ගැට්ලන් සිය තනතුරෙන් සමු ගන්නා බැවිනි. එය ඔහුට කරන හොඳම උපහාරය බවට එය පත් කරගැනීම වේල්ස් ක්‍රීඩකයන්ගේ අදහස වී තිබේ.

වේල්සය ඉහළටම ඔසවා තැබූ ගැට්ලන්ට සිය කණ්ඩායම මෙවර තරගාවලියේ දී ග්‍රෑන්ඞ් ස්ලෑම් ආකාරයේ ශූරයන් බවට පත් කිරීමට හැකිවුවහොත් එය එතෙක් මෙතෙක් බිහිවූ හොඳම වේල්ස් කණ්ඩායම ලෙස තමා පිළිගන්නේ යයි වේල්සයෙන් බිහිවූ හොඳම ක්‍රීඩකයා බව කවුරුත් කියන ශ්‍රීමත් ගැරත් එඞ්වර්ඞ්ස් පවසයි.

70 දශකයේදී වසර 11ක් වේල්සයට ක්‍රීඩා කරමින් වාර්තාපොත අලුතින් ලියූ මේ  විශිෂ්ඨයා සිය කාලය තුළ ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළු 3 කට සහ ත්‍රිත්ව ශූරතා 5 ක් සඳහා කණ්ඩායමට කදිම දායකත්වයක් ලබා දී තිබිණි.
මේ සියළු පීඩන කරපින්නා ගෙන සිටින වේල්සයට අද මරේෆීල්ඞ් හී දී ස්කොට්ලන්තයත්, ලබන සතියේදී අයර්ලන්තයත් පරාජය කිරීමට දැන් සිදුවී තිබේ.

තරගාවලියේ මෙතෙක් පැවැති තරග 3 ම ජයගෙන ප්‍රසාද ලකුණු  12ක් ලබා වේල්සය අපරාජිතව පෙරමුණේ පසුවෙද්දී එක් තරගයක් පමණක් ජයගත් ස්කොට්ලන්තය ප්‍රසාද ලකුණු 5 ක් ලබා  පසුවන්නේ පස්වැනි ස්ථානයේය.

වේල්සය ලොව හොඳම ආරක්ෂක වළල්ලක් සහිත කණ්ඩායම වුවත් අපට ඒ අතරින් හිදැස් කිහිපයක් සොයගත හැකිවනු ඇතැයි ස්කොට්ලන්තයේ පුහුණුකරු ග්‍රෙගරි ටවුන්සෙන්ඞ් කියයි. විවිධ ආබාධ නිසා ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනකුම කණ්ඩායමට අහිමිවී තිබියදීත් ටවුන්සෙන්ඞ් කියන පුරාජේරු කතා එහෙම පිටින්ම ප්‍රතික්ෂේප කරන විචාරකයෝ නම් දැනටමත් අනාවැකි පළ කර ඇත්තේ වේල්සය ග්‍රැන්ඞ් ස්ලෑම් කිරුළට තවත් අඩියක් ළඟා වනු ඇති බවකි.

මේ අතර පසුගිය වටයේදී වේල්සය හමුවේ අනපේක්ෂිත පරාජය අත්විඳගත් එංගලන්තය ද අද රාත්‍රීයේ ඉතාලිය හමුවේ පහසු ජයග්‍රහණයක් අපේක්‍ෂාවෙන් තරග කරයි. සමස්ත ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 10 ක් ලබා දෙවැනි තැන පසුවන එංගලන්තය මෙතෙක් පැවැති තරග 3න් පරාජයට පත්වූයේ වේල්සයට පමණි. ඉතාලිය පසුවන්නේ තරග 3 ම පරාජයට පත්වී අවසන් තැනය.

සිවුවැනි වටයේදී අවධානයට ලක්වූ අනික් තරගය හෙට (ඉරිදා) රාත්‍රී පැවැත්වෙන අයර්ලන්තය සහ ප්‍රංශය අතර තරගයයි.

 

 


අදහස් (0)

වේල්සය වේගවත් ගමනකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.