Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ස්පි‍්‍රංබොක්ස්ලා ලෝකඩ පදක්කම පළඳිති

ස්පි‍්‍රංබොක්ස්ලා ලෝකඩ පදක්කම පළඳිති

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

සිය තුන්වැනි ලෝක රග්බි කිරුළ සොයා එංගලන්තයට පැමිණි දකුණු අපි‍්‍රකාවේ ස්පි‍්‍රංබොක්ස්ලා ලන්ඩන් නුවර ඔලිම්පික් කී‍්‍රඩාංගණයේදී ඊයේ (30 වැනිදා) ආජන්ටිනාවේ පූමාස්ලා ලකුණු 24-13කින් පරදවා මෙවර තරගමාලාවේ තුන්වැනි ස්ථානයෙන් පමණක් සෑහීමට පත්වූහ.

වසර ගණනාවක් පුරා රග්බි පිටියේ පොර ඇල්ලූ ස්පි‍්‍රංබොක්ස්ලාගේ ජ්‍යෙෂ්ඨ කි‍්‍රඩකයන් කිහිපදෙනකුම ඊයේ සිය අවසන් අන්තර්ජාතික රග්බි තරගයට සහාභාගි වූ අතර ඔලිම්පික් කී‍්‍රඩාංගණයට පැමිණ සිටි 56,000කට ආසන්න කී‍්‍රඩාලෝලීන්ගෙන් ඔවුන් සමුගත්තේ ලෝකඩ පදක්කම්වලින් ගෙල සරසාගෙනය.

තරගයෙන් ජයග‍්‍රහණය අත්කර ගත්තත් ස්පි‍්‍රංග්බොක්ස්ලාට හිතේ හැටියට නටන්නට පූමාස්ලා ඉඩ තැබුවේ නැත.

දඩුවම් පහර 4 ක් හැරුණු විට තරගය පුරා ස්පි‍්‍රංබොක්ස්ලා වාර්තා කළේ උත්සාහක දිනුම් දෙකක් පමණි. වින්ග් කී‍්‍රඩක ජේ. පී.පීටර්සන් සහ දෙවැනි පෙළ කී‍්‍රඩක ඉබෙන් එඞ්සබෙත් තැබූ එම උත්සාහක දිනුම් දෙක ස්පි‍්‍රංබොක්ස්ලාගේ ජයග‍්‍රහණය තහවුරු කළේය.

ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් ලබාගැනීමේ වාර්තාව නවසීලන්තයේ හිටපු ශ්‍රේෂ්ඨ කී‍්‍රඩක ජෝනා ලොමුගෙන් උදුරාගැනිමට තවත් එකම එක උත්සාහක දිනුමක් අඩුවී  තිබූ  ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ වින්ග් කී‍්‍රඩක බ‍්‍රයන් හබානාට නම් ඊයේ දවසේ හරි ගියේ නැත. ඒ සඳහා ඔහුට ලැබුණු අවස්ථා 4 ක්ම ගිළිහී ගිය අතර අන්තිමේ දී තරගය නිමාවීමට මිනිත්තු 13 ක් ඉතිරිව තිබියදී ඔහු පිටියෙන් ඉවත් කොට වෙනත් කී‍්‍රඩකයකු ආදේශ කිරීමට පුහුණුකරු හේයිනික් මේයර් කටයුතු කළේය.

32 හැවිරිදි හබානා විසින් ලොමු සතුව තිබූ ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් 15 ක වාර්තාව සමකරනු ලැබුවේ මූලික වටයේ අමෙරිකාව සමග පැවැති තරගයේ දී උත්සාහක දිනුම් තුනක් තබමිනි. එහෙත් ඉන් පසුව වේල්සය සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදිත්, නවසීලන්තය සමග පැවැති අවසන් පූර්ව තරගයේදිත් උත්සාහක දිනුමක් තැබීමට අසමත්වූ හෙතෙම ඊයේ තරගයේදිත් පිටියෙන් ඉවත් වුණේ ඒ පීඩනයෙන් යුතුවය.

පීටර්සන්ගේ සහ එඞ්සබෙත්ගේ උත්සාහක දිනුම්වලට අමතරව ස්පි‍්‍රංබොක්ස්ලාගේ ලකුණු සටහන වර්ණවත් කළේ හෙන්රි පොලාර්ඞ්ය. ඔහු සිය සුපුරුදු පා පහරෙන් දඬුවම් පහර 4 කදීම පන්දුව ගෝල් කණු අතරින් පියඹා යැවීමට සැලැස්වූ අතර උත්සාහක දිනුමක් ද ගෝලයක් බවට පත්කළේය.

ඒ සමගම මෙවර ලෝක කුසලාන තරගමාලාවේ තනි කී‍්‍රඩකයකු වශයෙන් සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 92 දක්වා ඉහළ දමා ගැනීමට පොලාර්ඞ්ට හැකිවිය.

එසේවුවත් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් එම ලැයිස්තුවේ පෙරමුණේ සිටින ආජන්ටිනාවේ නිකොලස් සැන්චේස් අභිබවා යාමට ඔහුට එය ප‍්‍රමාණවත් වූයේ නැත. ආජන්ටිනාවේ මේ කඩවසම් ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයා ඊයේ තරගයේ නායකත්වය දරමින් ලකුණු 8 ක් රැස් කළ අතර තරගමාලාව පුරා ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 97 දක්වා ඉහළ දමාගත්තේය. මේ සමගම තරගමාලාවේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලැබූ කී‍්‍රඩකයාට පිරිනැමෙන රන් සපත්තුව අත්පත් කරගැනීමට හැම අතින්ම වාසිය ඔහුට හිමි වී තිබේ.

ආජන්ටිනාවේ සීමා ඉරට ආසන්නයේ දී ප‍්‍රතිවාදී කී‍්‍රඩකයකුට දරුණු කකුල් මාට්ටුවක් දැමීමේ වරදට හසුවී පූමාස්ලාගේ ප්‍රොප් කී‍්‍රඩක තෝමස් කුබේලී කහ කාඞ් පතින් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වූයේ තරගයේ 4 වැනි මිනිත්තුවේදීමය. ඊට මිනිත්තු දෙකකට පසුව පූමාස්ලාගේ ආරක්ෂක වළල්ල අතරින් රිංගා යමින් ජේ. පී. පීටර්සන් තැබූ පළමු උත්සාහක දිනුමෙන් ස්ප‍්‍රිංබොක්ස්ලා ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර පොලාඞ් විසින් සාර්ථක කරගනු ලැබූ දඩුවම් පහර ති‍්‍රත්වයත් සමග තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 16-0 කින්  පෙරමුණ ගත්තේ ස්පි‍්‍රංබොක්ස්ලාය.

එහෙත් සිය සටන්කාමීත්වය එලෙසින්ම තබාගත් පූමාස්ලා දෙවැනි භාගයේ දි ස්පි‍්‍රංබොක්ස්ලාට දැඩි අභියෝගයක් එල්ල කිරීම කැපී පෙනුණි.

තරගයේ දෙවැනි භාගය ආරම්භයේදිම සැන්චේස් ලබාගත් ඩ්‍රොප් ගෝලයෙන් ලකුණු ලබාගැනිම ඇරැුඹූ පූමාස්ලා පීඩනයකට හසුවූයේ ඊළග මිනිත්තුවේ දී එඞ්සබෙත්ගේ උත්සාහක දිනුම තැබීමත් සමගිනි. අනතුරුව 51 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් සාර්ථක කරගත් නායක සැන්චේස් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 6 දක්වා ඉහළ දමද්දී ස්පි‍්‍රංබොක්ස්ලා ලකුණු 24 ක්ම ලබා සිටියහ.

ඉන් පසුව තරගය නිමාවනතුරුම ස්පි‍්‍රංබොක්ස්ලා ඇඳ බැඳ තබාගනිමින් උත්සාහක දිනුමක් ලබාගැනීමට පූමාස්ලා දැඩි සටනක නිරතවූහ. අතිරේක කී‍්‍රඩක ජුවාන් පැබ්ලෝ ඕලන්ඩි තරගයේ අන්තිම මිනිත්තුවේ දී ආජන්ටිනාවේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත්වූවත් ප‍්‍රතිවාදියා අභිබවා යාමට එය ප‍්‍රමාණවත් වූයේ නැත.

 


අදහස් (0)

ස්පි‍්‍රංබොක්ස්ලා ලෝකඩ පදක්කම පළඳිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.