Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හැව්ලොක්ස් ආක්‍රමණය ඉරිදා නිත්තවෙලදී

හැව්ලොක්ස් ආක්‍රමණය ඉරිදා නිත්තවෙලදී

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ 6 වැනි සති අන්තයේ තරග නිමාවට පත්වෙද්දී ප්‍රසාද ලකුණු 29 ක් ලබා දෙවැනි තැන ලබා සිටි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හෙට (16) ගුවන් හමුදා පිලට එරෙහිව රත්මලානේ දී පැවැත්වෙන පළමු වටයේ සිය අවසන් තරගයට එක්වන්නේ ජයග්‍රහණය අත්කර ගනිමින් පෙරමුණ ගැනීමේ අභිලාෂයෙනි. හෙට තරගයේ ජය අත්කර ගැනීම ලබන සතියේ ආරම්භ කෙරෙන දෙවැනි වටයේ තරගවලට යාමට පෙර නැවියන්ට කදිම උත්තේජනයක් විය හැකිය.

එසේ වුවත් හෙට තරගය ජයගෙන ලකුණු සටහනේ වැඩි වාසියක් අත්කර ගනිමින් දෙවැනි වටයට යාම දැනට ප්‍රසාද ලකුණු 21 ක් ලබා සිවුවැනි තැන පසුවන ගුවන් හමුදා කණ්ඩායමේ අරමුණ වී ඇති බැවින් නැවියන්ට හෙට තරගය එතරම් පහසු එකක් නොවනු නිසැකය. අනික මෙවර තරගාවලියේ ආරම්භයේදී සුපුරුදු පරිදි පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩා සමාජය එහෙම පිටින්ම තලා දැමූ ගුවන් හමුදා පිල අඩු තක්සේරුවට ලක් කිරීම සුබදායක නොවන බැවින් කල්පනාකාරීව ක්‍රීඩා කිරීම නැවියන්ගේ බලාපොරොත්තුව වී තිබේ.

තරගාවලිය ආරම්භයේදීම ගුවන් හමුදා පිල හමුවේ අන්ත පරාජයකට ලක්වූ මහනුවර පිලට නැවතත් ප්‍රසාද ලකුණ සටහනේ පළමු තැන අත්කර ගැනීමට කිසිම අවස්ථාවක ඉඩක් නොලැබිණි.

මේ අතර 6 වැනි සති අන්තයේ තරග නිමාවනවිට ප්‍රසාද ලකුණු 19 ක් ලබා පස්වැනි තැනට පත්වී ඇති සී.ආර්.පිල මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් වාර්තා නොකොට අන්තිම තැන සිටින සී.එච්. පිල සමග අනිද්දා (17) කොළඹ තුරඟ තරග පිටියේ දී තරග වදී. එදිනම 7 වැනි තැන සිටින පොලිස් කණ්ඩායම සහ 6 වැනි තැන පසුවන යුද හමුදා පිල අතර තරගය පොලිස් පිටියේදී පැවැත්වෙයි.

පළමු වටයේ අවසන් සති අන්තයේ කාගෙත් අවධානයට ලක්වූ තරගය බවට පත්වී ඇත්තේ ලබන ඉරිදා (18) නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අපරාජිත හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ මහනුවර කණ්ඩායම අතර තරගය කෙරෙහිය. මෙතෙක් පැවැති තරග 6 ම ජයගෙන ප්‍රසාද ලකුණු 34 ක් ලබා පෙරමුණේ සිටින හැව්ලොක්ස් කණ්ඩායම අවසන් තරගයත් ජයගෙන අපරාජිතව දෙවැනි වටයට යාමේ අදිටනින් පසුවෙයි.

එසේ වුවත් තමන්ගේම බලකොටුවේ පැවැත්වෙන තරගයක් බැවින් හැව්ලොක්ස් පිලේ ඒ අරමුණ ඉටු කරගැනිමට මහනුවර කණ්ඩායමෙන් බුරුලක් ලැබෙනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකිය. ප්‍රසාද ලකුණු 27 ක් ලබා තුන්වැනි තැන රැඳී සිටින මහනුවර පිලේ අරමුණ වී ඇත්තේ මේ තරගය ජයගෙන හැව්ලොක්ස් පිලේ අපරාජිතභාවය බිඳ දැමීමටය. මෙවර තරගාවලියේදී මෙතෙක් නිත්තවෙල සිය බලකොටුවේ දී කිසිදු තරගයක් පරාජයට පත්වී නොමැති මහනුවර ක්‍රීඩා සමාජයට ඒ බලාපොරොත්තුව ඉටු කරගැනීමට හැම අතින්ම වාසිදායක තත්ත්වයක් පෙනෙන්නට තිබුණත් අපරාජිතයන් මෙල්ල කරගැනීමට එතරම් ලෙහෙසි පහසු කරුණක් නොවන බවත් ඔවුහු ඉඳුරාම දනිති.

 

ඡායාරූපය -වරුණ කරුණාසේකර


අදහස් (0)

හැව්ලොක්ස් ආක්‍රමණය ඉරිදා නිත්තවෙලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.