Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හැව්ලොක්ස් ආරක්‍ෂාවීමට සැරසෙයි

හැව්ලොක්ස් ආරක්‍ෂාවීමට සැරසෙයි

Nisanka Sandeepani - 2018 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් හැව්ලොක් පිටියේදී හෙට (24) නාවික හමුදා පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී හැව්ලොක් පිල අපරාජිත වාර්තාව රැකගැනීම සඳහා ආරක්‍ෂාවට මුල් තැන දෙන බව හැව්ලොක් පිලේ පුහුණුකරු සනත් මාටිස් මහතා පැවසීය. 

හැව්ලොක් පිල මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද 11 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.  

නාවික හමුදා පිල තරග දෙකෙන් එකක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගනිමින් පස්වැනි ස්ථානයේ පසුවෙයි.

කණ්ඩායම් දෙකටම විදේශීය ක්‍රීඩකයන් ඇතුළත්ව නොමැති වීම නිසා මෙම තරගය දේශීය ක්‍රීඩකයන්ගේ ශක්තිය මැන බැලෙන තරගයක් බවට පත්ව තිබේ. 

ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබලතම ක්‍රීඩකයකු වන වින්ග් ත්‍රී ස්ථානයේ ක්‍රීඩා කරන සඳුන් හේරත් පාදයේ ආබාධයකට ලක්ව සිටීම හැව්ලොක් පිලට දැඩි පාඩුවක් බවට පත්ව තිබේ. 

කෙසේ වෙතත් සඳුන් අවශ්‍යතාවක් ඇති වුවහොත් සුළු කාලයක් ක්‍රීඩා කිරීමට ද සූදානමින් සිටියි.   

“අපි පසුගිය වසරේ නාවික හමුදා පිල හමුවේ ලීග් තරගාවලියේ පළමු වටයේ සහ පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියේදී ලෙස අවස්ථා දෙකකදී පරාජයට පත්වුණා. ඒ නිසාම මෙම තරගයේදී ආක්‍රමණශීලි වීමට වඩා ආරක්‍ෂාකාරීව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි හැව්ලොක් පිලේ පුහුණුකරු සනත් මාටිස් මහතා පැවසීය. 

“අපේ කණ්ඩායමේ මෙවර ප්‍රබල ක්‍රීඩකයෝ කියලා නෑ. කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ” යැයි මාටිස් මහතා වැඩි දුරටත් පැවසීය.

පසුගිය වසරේ වැඩිම ලකුණු ලාභියා වූ ෆුල්බැක් ක්‍රීඩක තිළිණ වීරසිංහ මෙහෙයවන නාවික හමුදා පිල අමතර ජවයකින් සන්නද්ධව තරගයට පිවිසීමට සූදානමින් සිටියි.

ආබාධයකට ලක්ව සිටි නිත්‍ය හුකර් ක්‍රීඩක අමිත් ගුණසිංහ මෙවර තරගාවලියේ පළමු තරගයට සහභාගි වීමට නියමිත අතර ඔහු කණ්ඩායමට එක්වීම දැඩි ශක්තියක් බවට පත්වන බව නාවික හමුදා පිලේ නිලධාරියකු පැවසීය. 

“මෙම තරගයේදී ප්‍රබල යොවුන් ක්‍රීඩකයකු වන ශ්‍රී ලංකා වයස 20 න් පහළ කණ්ඩායම නියෝජනය කළ චතුර සෙනෙවිරත්න තරගය ආරම්භයේ සිට ක්‍රීඩා කිරීමට සූදානමින් ඉන්නේ. එයත් හොඳ ශක්තියක් වෙයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

මරදාන ශාන්ත ජෝශප් විදුහලේ හිටපු ක්‍රීඩකයකු වන චතුර, ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකු ලෙස නාවික හමුදා පිලට එකතුව සිටියි. 

ජාතික කණ්ඩායම නියෝජනය කළ වේගවත් ක්‍රීඩකයකු වන රිචී ධර්මපාල සහ අදීෂ වීරතුංග මෙම තරගයේදී ද නාවික හමුදා පිලේ ප්‍රධාන චරිත බවට පත්ව සිටිති.    
ප්‍රසාද ලකුණු 12 ක් ලබා පළමු ස්ථානයේ පසු වන මහනුවර පිල රත්මලානේදී යුද හමුදා පිලට එරෙහිව සෙනසුරාදා (24) තරගයට පිවිසෙයි.  
අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිටින සී.ආර්. පිල පොලිස් පිලට එරෙහිව සෙනසුරාදා (24) තරග කිරීමට නියමිතය.  

තෙවැනි සතියේ  තරග කාලසටහන
● 23 වැනිදා - නාවික හමුදා පිල හැව්ලොක් පිල අතර හැව්ලොක් පිටියේදී (පස්වරු 6.30)
● 24 වැනිදා - පොලිස් පිල සහ සී. ආර්. පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී (පස්වරු 4.00)
● 24 වැනිදා - මහනුවර පිල සහ යුද හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා පිටියේදී 
● 25 වැනිදා - සී. එච්. පිල සහ ගුවන් හමුදා පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී 

 

 


අදහස් (0)

හැව්ලොක්ස් ආරක්‍ෂාවීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.