Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner හැව්ලොක්ස් ගමන ඉක්මන් කරයි

හැව්ලොක්ස් ගමන ඉක්මන් කරයි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු භාගයේ දී කරට කර සටනක නිරතවූ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට දෙවැනි භාගයේදී අමතක නොවන පරාජයක් උරුම කර දුන් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සෙනසුරාදා (28) පැවැති අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයෙන් ලකුණු 31-10 ක ජයක් වාර්තා කරමින් කුසලානය කරා යන ගමන ඉක්මන් කළේය.

සී.ආර්.පිලේ රතුබැනියම් කාරයන්ට ඔවුන්ගේම නිවහනේදී පිට පිට දෙවැනි පරාජය අත්විඳීමට ඉඩ සැලැසූ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ඊයේ තරගයේ දී ගෝල් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 4ක් වාර්තා කිරීමට සමත්වූ අතර සී.ආර්.පිලට ගෝලයක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගන්නවා හැරෙන්නට ඊට වැඩි යමක් කරන්නට නොලැබිණ. රතු බැනියම් කාරයන්ට වැඩිම පීඩනයක් ගෙනදුන් ක්‍රීඩකයා බවට පත්වූ දුලාජ් පෙරේරා තරගය පුරා හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකටම (16) හිමිකම් කීවේ තවදුරටත් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගනිමිනි.

කවිඳු පෙරේරා තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ රීසා මුබාරක් සී.ආර්.පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගිය අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව පිට පිට දඬුවම් පහර 2 ක් සාර්ථක කරගත් දුලාජ් පෙරේරා හැව්ලොක්ස් පිලට ලකුණු 6 ක් ගෙන දුන්නේය.

තරගයේ 36 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කරගත් රිසා මුබාරක් රතු බැනියම්කාරයන්ගේ ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දැමුවේය. එහෙත් පළමු භාගය නිමාවීමට පෙර නායක සුදර්ශන මුතුතන්ත්‍රී තැබූ අනගි උත්සාහක දිනුමකින් ලකුණු 11-10 කින් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිල සමත්විය.

දෙවැනි භාගයේ දී තවත් දඬුවම් පහර 2 ක් සාර්ථක කරගත් දුලාජ් පෙරේරා හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළට ඔසවා තැබූ අතර අනතුරුව ලිස්ටන් ෆ්ලැට්නි තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ දුලාජ් ලකුණු 24-10 කින් සිය කණ්ඩායම ඉදිරියට රැගෙන ගියේය.

සුදම් සූරියආරච්චි තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කරමින් හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය තහවුරු කිරීමට දුලාජ් සමත්විය.

 


අදහස් (0)

හැව්ලොක්ස් ගමන ඉක්මන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.