Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් කුසලාන අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය මෙතෙක් පැමිණි අපරාජිත ගමන් මග හරස් කළ මහනුවර ක්‍රීඩකයෝ පළමු වටයේ අවසන් තරගයෙන් ලකුණු 39-30 ක විශිෂ්ට ජයක් අත්පත් කරගත්හ. සිය බලකොටුව වන නිත්තවෙල ක්‍රීඩාංගණයේදී මෙවර තරගාවලියේ කිසිදු තරගයක් පරාජයට පත් නොවීමේ ගෞරවයත් මහනුවර ක්‍රීඩකයෝ ඒ අයුරින්ම රැක ගත්හ.
ගෝල් 3 ක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් මගින් මහනුවර පිල සිය ලකුණු මල්ල තරකර ගත් අතර හැව්ලොක්ස් පිල ගෝල් 3 ක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලැබුවේය.
කාගෙත් අවධානය යොමුවී තිබූ මේ තරගය සඳහා හැව්ලොක්ස් කණ්ඩායම ඉරිදා පස්වරුවේදී මහනුවරට ගියේ තමන්ගේ අපරාජිත වාර්තාව පළමු වටය නිමාවනතුරුම රැක ගැනීමේ අදිටනනි. එහෙත් තරගයේ ආරම්භයේ සිටම සත්කාරකයන් දැඩි පීඩනයකට ලක්කළ කන්ද උඩරට ක්‍රීඩකයන් පළමු භාගය නිමාවට පත් කළේ ද ලකුණු 22-13 කින් පෙරමුණ ගනිමිනි.
තරගයේ ආරම්භයේදීම ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් දුලාජ් පෙරේරා හැව්ලොක්ස් පිලට ලකුණු 3-0 කින් ඉදිරියට ගෙන ගිය අතර මොහොතකට පසුව ගයාන් වීරරත්න තැබූ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ මහනුවර පිල 5--3 කින් පෙරමුණ ගැනීමට සමත්විය.
මිනිත්තු කිහිපයක් අතරතුර දඬුවම් පහර 2 ක් සාර්ථක කරගැනීමට දෙපිලම සමත්වූ අතර දුලාජ් සාර්ථක කළ දඬුවම් පහරත් සමග ලකුණු 6-5 කින් හැව්ලොක්ස් පිල පෙරමුණ ගත්තද තිළිණ විජේසිංහ සාර්ථක කරගත් දඬුවම් පහර නිසා ලකුණු 8-6 කින් මහනුවර පිල ඉදිරියට ගියේය.
මිනිත්තු කිහිපයකට පසුව විශ්වමිත්‍ර ජයසිංහ තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ තිළිණ විජේසිංහ මහනුවර පිල ලකුණු 15-6 කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය. එහෙත් සිය ප්‍රතිවාදීන් හමුවේ කරට කර සටනක නිරතවූ හැව්ලොක්ස් පිල ලකුණු පරතරය 15-13 කින් අඩු කරගත්තේ නිෂොන් පෙරේරා තැබූ උත්සාහක දිනුමක් දුලාජ් පෙරේරා විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙනි.
මනා සැලසුමකින් යුතුව ක්‍රීඩා කළ මහනුවර පිලේ නායක රොෂාන් වීරරත්න කැපී පෙනෙන පන්දු පිරිනැමීමක නිරත වූ අතර ප්‍රතිවාදී ක්‍රීඩකයන් අතර ඉඩ සොයා ගනිමින් සිය සගයන්ට පන්දුව හුවමාරු කරගැනීමේ පහසුව සකසා දුන්නේය. ඊළඟ ගෝලය මහනුවර පිල වාර්තා කළේ එවැනි සාර්ථක පන්දු පිරිනැමීමක ප්‍රතිඵලයක් ලෙසිනි. රොෂාන් වීරරත්න කල්යල් බලා පිරිනැමූ පන්දුව ඩැහැගත් දමිත් දිසානායක තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ තිළිණ පළමු භාගය නිමාවෙද්දී සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 22-13 කින් ඉහළ දැමුවේය.
දෙවැනි භාගය ආරම්භයේදී මනරම් දඬුවම් පහරක් සාර්ථක කරගත් දුලාජ් පෙරේරා හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ දැමූ අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ දමිත් දිසානායක මහනුවර පිල ලකුණු 27-16 කින් ඉදිරියට ගෙන ගියේය.
හැව්ලොක්ස් පිලේ ලිස්ටන් ෆ්ලැට්නි අගනා උත්සාහක දිනුමක් තැබීමට සමත්වූයේ ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ පීඩනය ඈතට තල්ලු කර හරිමිනි. එය ගෝලයක් බවට පත් කළ දුලාජ් පෙරේරා සිය කණ්ඩායම ලකුණු 27--23 කින් පරතරය අඩුකර ගත්තේය.
සටන්කාමීත්වය අවසානය වනතුරු එකලෙසම තබාගත් මහනුවර පිල මේ අපරාජිතයන්ගේ තරම හොඳින්ම දන්නා බැවින් හැකි සෑම මොහොතකදිම ලකුණු පරතරය වැඩි කිරීමේ රාජකාරිය අකුරටම ඉටු කරනු පෙනුණි. තවත් මිනිත්තු කිහිපයකට පසුව ලසිත අත්තනගොඩ තැබූ උත්සාහක දිනුමත් සමග ලකුණු 32-23 කින් ඉදිරියට යාමට මහනුවර පිල සමත්විය.
අවසන් මිනිත්තු කිහිපය එළැඹෙත්ම දෙපිලේම උණුසුම වැඩි වූ අතර ජයග්‍රහණයේ බලාපොරොත්තු රඳවා ගත් හැව්ලොක්ස් පිල උත්සාහක දිනුමක් තැබීමට හැම අතින්ම වෙහෙස වෙමින් මහනුවර පිලේ සීමාව ආසන්නයටම පන්දුව රැගෙන ගිය අවස්ථා කිහිපයක්ම විය. එවැනි අවස්ථාවක දී පන්දුව ඩැහැගත් දනූෂ දයාන් මීටර් 60 ක පමණ ප්‍රතිවාදී සීමාව දෙසට වේගයෙන් දිව ගිය අතර හැව්ලොක්ස් පිලේ කෙවින් ඩික්සන් ඔහු බිම පෙරළාගැනීමට පෙර නායක රොෂාන් වීරරත්න වෙත පන්දුව පිරි නැමුවේය. සාර්ථකව පන්දුව පිරිනැමීමට රුසියකු වූ රොෂාන්ගෙන් අනතුරුව එය ලබාගත් රිචඞ් ධර්මපාල හැව්ලොක්ස් පිලේ සීමා ඉරට පැන්නේය.
ඔහුගේ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ තිළිණ මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 39-23 කින් ඉදිරියට තල්ලු කළේය.
අවසන් මොහොතේදී නිෂොන් පෙරේරා සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්වූ අතර එය ගෝලයක් බවට පත් කළ දුලාජ් පෙරේරා හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 30 දක්වා ඉහළ දැමුවත් ඒ වන විටත් මහනුවර ක්‍රීඩකයන් අල්ලා ගැනීමට බැරි තරම් ඉදිරියට දිවගොස් තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.