Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner එංගලන්තයට සියුම් බලාපොරොත්තුවක්

එංගලන්තයට සියුම් බලාපොරොත්තුවක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාඩිෆ් නුවරදී පැවැත්වෙන තරගයේදී අයර්ලන්තය පරාජය කිරීමට වේල්සය අසමත් වුවහොත් හයකොන් තරගාවලියේ ශූරතාවට අත තැබීමට ට්විකන්හැම්හීදී ස්කොට්ලන්තය සමග තරග වදින එංගලන්තයට අවස්ථාව ලැබෙනු අත. එංගලන්තය දැන් බලාපොරොත්තු වන්නේ ඒ ආකාරයට වැඩ සිද්ධවනු දැකීමය. ඒ සඳහා අතිරේක ප්‍රසාද ලකුණක් ද සහිතව, ස්කොට්ලන්තය හමුවේ හැකි උපරිම ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට එංගලන්තයට සිදුවී තිබේ.

එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් සිය කණ්ඩායම දැනටමත් නම් කර හමාරය. වෙනස්කම් කිහිපයක් පෙනෙන්නට තිබුණත් එහි එතරම් විමතියට පත්වන සුලු විශේෂයක් නම් දක්නට නොමැත.

වින්ග් ක්‍රීඩකයා ලෙස ජැක් නොවෙල් ඇතුළට ගෙන ජෝ කොකනාසිගා එළියට දැමීමත්, හෙන්රි ස්ලේඞ්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදෙමින් බෙන් ටී. බංකුවේ වාඩි කර තැබීමටත්, ඇතුළු තවත් වෙනස් කම් දෙකක් පමණ ජෝන්ස් සිදු කර තිබේ. එඩී ජෝන්ස් වෙනස්කම් 4 ක් කරද්දී ස්කොට්ලන්තයේ පුහුණුකරු ග්‍රෙගරි ටවුන්සෙන්ඞ් සිය කණ්ඩායමේ වෙනස්කම් 6 ක්ම් කර තිබේ.

වසර 1983 ට පසුව පළමු වතාවට ට්විකන්හැම් හීදී තරගයක් දිනාගැනිමට බලා සිටින ස්කොට්ලන්තයේ පුහුණුකරු කියන්නේ අනාවැකි පළ කරන්නන් දැනටමත් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සහතික කර ඇති බවය. තරගයේ ජයග්‍රහණය ලැබුවත් ස්කොට්ලන්තයට කුසලානය හිමි වන්නේ නැත. ඔවුන් සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ පහළ ස්ථානයකය.

මේ අතර වේල්සයේ ක්‍රීඩකයන් දැඩි වෙහෙසට පත්වී ඇතැයි කී එංගලන්ත පිලේ පුහුණුකරු එඩී ජෝන්ස්ට තමන්ගේ වැඩක් බලාගන්නා ලෙස වේල්සයේ පුහුණුකරු වොරන් ගැට්ලන්ඞ් බැණ වැදුණේය.

“අපේ මැච් එක ගැන මොන මඟුලකටද එඩී කතා කරන්නෙ..? මං එයාට කියන්නේ ගිහින් ස්කොට්ලන්තය එක්ක තියෙන මැච් එකට අවධානය යොමු කරන්න කියලයි” ගැට්ලන්ඞ් ඊයේ කිහිප අවස්ථාවකදීම එසේ කීවේය.

එංගලන්ත පුහුණුකරු වේල්සයේ ක්‍රීඩකයන් ගැන කීවේ අයර්ලන්ත - වේල්ස් තරගයේදි කාඩිෆ් නුවර ප්‍රින්සිපලිට් ක්‍රීඩාංගණයේ වහළය විවෘතව තබන ලෙසට අයර්ලන්ත කළ ඉල්ලීමක් ගැන ප්‍රතිචාර දක්වමිනි.
හයකොන් රග්බි තරගාවලියේ නීතිරීති අනුව යම්කිසි ක්‍රීඩාංගණයක වහළය විවෘතව තැබීම හෝ වසා තැබීම දෙපිලේහිම එකඟතාව මත සිදුවිය යුතුය. එහෙත් වේල්සයේ ඉල්ලීමකට අනුව එම වහළය වසා තැබීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබූ අතර එය නීතිවිරෝධි බැවින් වහළය විවෘතව තබන ලෙස අයර්ලන්තය ඉල්ලා සිටියේය. අවසානයේ අයර්ලන්තයේ ඉල්ලීමට අවනත වීමට සංවිධායකයන්ට සිදුවිය.

එඩී ජෝන්ස් මේ පිළිබඳ කියා සිටියේ වේල්සයේ ක්‍රීඩකයන් දැඩි වෙහෙසට පත්ව ඇති බවකි. සෙනසුරාදා කාඩිෆ් නුවර වර්ෂාව ඇද හැලීමට  ඉඩ ඇතැයි එරට කාලගුණ අනාවැකිවලින් කියැවිනි.

වේල්සයේ ක්‍රීඩකයන් වර්ෂාව මැද ක්‍රීඩා කිරීමට අසමත් බවටත්, අයර්ලන්තය ඒ අතින් ඉදිරියෙන් පසුවන බවටත් ඇතැමෙක් කියති.

සැකසුම : මොහාන් ප්‍රනාන්දු


අදහස් (0)

එංගලන්තයට සියුම් බලාපොරොත්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.