Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner දෙවැනි වටය උණුසුම් වෙයි

දෙවැනි වටය උණුසුම් වෙයි

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මොහොතේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ අපරාජිතභාවය බිඳ දමමින් ජයග්‍රහණයේ මාවත කදිමට පුළුල් කරගත් මහනුවර ක්‍රීඩා සමාජයේ පිබිදීමත් සමග නිමාවට පත්වූ අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය හෙට (29) ඇරැඹෙයි.

දෙවැනි තරග වටය ආරම්භ වන්නේ පළමු වටයේ තරග නිමාවට පත්වනවිට ප්‍රසාද ලකුණු 34 ක් ලබා පෙරමුණ රැක ගැනීමට සමත්වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ සියලුම තරග පරාජයට පත්වී ලකුණු සටහනේ අඩියටම වැටී සිටින සී.එච්. පිල අතර සී.ආර්. පිටියේ පැවැත්වෙන තරගයෙනි.

මෙවර තරගාවලියේ පළමු වටය පුරා උරෙනුර ගැටෙමින් එකිනෙකාගේ දස්කම් උරගා බැලූ සෑම ක්‍රීඩකයකුටම හෙට ඇරැඹෙන දෙවැනි වටයේ දී වැඩි ජවයකින් යුතුව ක්‍රීඩා කිරීමට සිදුවී ඇත්තේ සමස්ත ලීග් ශූරයන් දෙවැනි වටය අවසානයේ දී තෝරාගන්නා බැවිනි.

පළමු වටයේ එක් එක් කණ්ඩායම් ලැබූ ප්‍රසාද ලකුණු දෙවැනි වටයේදීත් එකතු කරගන්නා බැවින් හෙටින් ඇරැඹෙන තරග වටයේ සෑම තරගයක්ම තීරණාත්මක සාධක බවට පත්වනු සහතිකය. එනිසාම පළමු වටයේදී අන්ත පරාජයට පත්වූ කණ්ඩායම් සමග පැවැත්වෙන තරග පවා වැඩි උනන්දුවකින් යුතුව ක්‍රීඩා කිරීමට පුහුණුකරුවන්ගෙන් ලැබෙන උපදෙස් අකුරටම පිළිපැදීම සෑම ක්‍රීඩකයකුගේම වගකීම බවට පත්වී තිබේ.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමග සම සමව ප්‍රසාද ලකුණු 34 ක් ලබා සිටියත් දෙවැනි තැනට පත්වූ නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවැනි වටයේ සිය පළමු තරගයට 30 වැනිදා වැලිසර දී එක්වන්නේ ලකුණු 9 ක් ලබා 7 වැනි ස්ථානයේ පසුවන පොලිස් කණ්ඩායම සමගය. එදිනම පස්වරුවේ ගුවන් හමුදා පිල සමග රත්මලානේ දී තරග බිමට පිවිසෙන්නේ ප්‍රසාද ලකුණු 25 ක් ලබා සිවුවැනි තැන පසුවන සී.ආර්.පිල සමගය.

දෙවැනි වටයේ පළමු සති අන්තයේ අවසන් තරගය ලබන 31 වැනිදා පැවැත්වෙන්නේ අවසන් මොහොතේ ජය මාවත හෙළි පෙහෙලි කරගත් මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා කණ්ඩායම අතරය. කාගෙත් වැඩි අවධානය යොමුවනු ඇත්තේ නිත්තවෙල පැවැත්වෙන මේ තරගය කෙරෙහිය.

ඉදිරියෙන් සිටින හැව්ලොක්ස් පිලට සහ නාවික හමුදා පිලට දැඩි අභියෝගයක් එල්ල කරන්නට සමත්වූ මහනුවර කණ්ඩායම දෙවැනි වටයේදි සිය පරාජයේ සෙවණැලි අකාමකා දමනු ඇතැයි දැනටමත් පළවී ඇති අනාවැකිවල සැබෑ තත්ත්වය දැක බලාගැනීමට එදිනට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලැබෙනු ඇත.

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ දෙවැනි වටයේ තරග පෙබරවාරි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම පළමු වටයේදී මෙන්ම සෙසු ප්‍රතිවාදී කණ්ඩායම් සමග තරග වදිති. ඩයලොග් ලීග් රග්බි කිරුළ හිමිවන්නේ සමස්ත තරගාවලියේදීම වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායමටය.

  තරග ජය පරාජ ල.ල.  දු.ල. අතිරේක ප්‍රසාද ලකුණු
  1 හැව්ලොක්ස්  7 6 1 217 112 4 34
2 නාවික හමුදාව 7 6 1 208 114 4 34
3 මහනුවර ක්‍රී.ස 7 5 2 309 139 8 33
4 සී. ආර් ඇන්ඩ් එෆ්.සී 7 4 3 244 167 5 25
5 ගුවන් හමුදාව 7 4 3 137 182 1 21
6 යුද හමුදාව 7 2 5 179 189 6 16
7 පොලිසිය 7 1 6 136 206 4 9
8 සී. එච්.  ඇන්ඩ් එෆ්.සී 7 - 7 71 392 1 1

අදහස් (0)

දෙවැනි වටය උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.