Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner නාවික හමුදාවට තිළිණ වීරසිංහ අහිමි වෙයි

නාවික හමුදාවට තිළිණ වීරසිංහ අහිමි වෙයි

Nisanka Sandeepani - 2018 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඡායාරූප - ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර

 

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ පස්වැනි සතියේ තරග ආරම්භ කරමින් යුද හමුදා පිලට එරෙහිව රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද (07) පැවැත්වෙන තරගයේදී නායක තිළිණ වීරසිංහගේ සේවය අහිමිවීම නාවික හමුදා පිලට දැඩි පාඩුවක් බවට පත්ව තිබේ. 

නාවික හමුදා සහ යුද හමුදා යන කණ්ඩායම් දෙක තරග දෙක බැගින් ජය ලබා සිටින අතර අතිරේක ප්‍රසාද ලකුණු දෙකකින් නාවික හමුදා පිල සිවුවැනි ස්ථානයේ රැදී සිටියි. යුද හමුදාව පස්වැනි ස්ථානයේ පසුවෙයි.    

නාවික හමුදා පිලේ නායක සහ ෆුල්බැක් ක්‍රීඩක තිළිණ වීරසිංහ පසුගිය සතියේ ගුවන් හමුදා පිලට එරෙහිව තරගයේදී ආබාධයකට ලක්වීමෙන් මෙම තරගයට සහභාගි නොවීම නාවික හමුදාවට විශාල පාඩුවක් බවට පත්ව තිබේ. 

ශ්‍රී ලංකා වර්තමාන රග්බි පිටියේ ප්‍රබලතම ප්‍රවර්ථකයකු ලෙස සැළකෙන නාවික හමුදා පිලේ ප්‍රවර්ථකයා වන තිළිණ සහභාගි වූ තරග හතරේදී උත්සාහක දිනුමක්, ගෝල ප්‍රවර්ථන 10 ක් සහ දඩුවම් පහර 5 ක් සාර්ථක කරමින් ලකුණු 40 ක් එකතු කිරීමට සමත්ව සිටියි. තිළිණ මේ වන විට මෙවර තරගාවලියේ ලකුණු ලාභීන් අතර සිවුවැනි ස්ථානයේ පසුවෙයි. 

මෙම තරගයේදී නාවික හමුදා පිල මෙහෙයවීමේ වගකීම ජාතික කණ්ඩායම නියෝජනය කළ වේගවත් ක්‍රීඩකයකු වන රිචී ධර්මපාලට පැවරී තිබේ.

“තිළිණ බෙල්ලේ ආබාධයකට ලක්වෙලා ඉන්නේ. ඔහුගේ තත්ත්වය බරපතල නෑ. ඊළඟ තරගයට ක්‍රීඩා කරන්න හැකි වෙයි” යැයි නාවික හමුදා පිලේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.  

උපුල් අබේරත්නගේ නායකත්වයෙන් යුත් යුද හමුදා පිල පසුගිය සතියේ සී. එච්. පිල පරාජය කිරීම නිසා මෙම තරගයේදී නාවික හමුදාට ප්‍රබල අභියෝගයක් යොමු කිරීමට සූදානමින් සිටියි. 

යුද හමුදා පිලේ නිලධාරියකු පැවසුවේ තම කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් ඉතාමත් හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් සහ මානසික ශක්තියෙන් සිටින බවයි.

“අපි තරග දෙකක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ ඉන්නවා. මේ තරගය ජය ලබා ඉදිරියට එන්න තමයි සැළසුම් කරලා තියෙන්නේ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා පැවැති තරගයෙන් පසුව විනිසුරුවකුට පහරදීමේ සිද්ධියෙන් පසුව ගුවන් හමුදා කඳවුරු භූමියේ පැවැත්වෙන තරගවලින් ඉවත්වීමට විනිසුරුවන් තීරණය කළ ද මෙම තරගයට සහභාගි වීමට විනිසුරුවෝ පෙරේදා (05) පස්වරුවේ එකඟ වූහ. 

අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින හැව්ලොක්ස් පිල සහ සී. ආර්. පිල අතර තරගය සී. ආර්. පිටියේදී හෙට (08) පස්වරුවේ පැවැත්වෙන අතර එම තරගය ද තියුණු එකක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළකරති.   

මේ සති අන්තයේ  තරග කාලසටහන (පස්වරු 4.00)
● 07 වැනිදා : යුද හමුදා පිල සහ නාවික හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා පිටියේදී 
● 08 වැනිදා : සී. ආර්. පිල සහ හැව්ලොක්ස් පිල අතර සී. ආර්. පිටියේදී
● 09 වැනිදා : මහනුවර පිල සහ සී. එච්. පිල අතර නිත්තවෙල පිටියේදී 
● 09 වැනිදා : පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී 

 

 


අදහස් (0)

නාවික හමුදාවට තිළිණ වීරසිංහ අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.