Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner පීතරයන්ගේ අපරාජිත වාර්තාව බිඳවැටෙයි

පීතරයන්ගේ අපරාජිත වාර්තාව බිඳවැටෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මරදාන ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ සැලසුම් සහගතව ක්‍රීඩා කරමින් අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ තීරණාත්මක තරගයකින් ලකුණු 10-5 ක ජයක් ලබා බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අපරාජිත වාර්තාව බිඳ දැමූහ. 

මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන ‘බැසිල් වීරතුංග පියනම’ අනුස්මරණ පළිහ නැවත අත්පත් කරගැනීමට ද ශාන්ත ජෝශප් විදුහල් පිලට හැකිවිය.

මෙවර පාසල් රග්බි තරගාවලියේ ආරම්භයේ සිටම අපරාජිතව පසුවූ කණ්ඩායම් දෙකින් එකක් වන ශාන්ත පීතර විදුහල් පිල සී.ආර්.පිටියේදී ඇද බැඳ තබාගත් ශාන්ත ජෝශප් විදුහල් පිල වර්ෂාවෙන් බාධා ඇතිවූවත් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගෙන සිටියේය. 

වර්ෂාව නිසා ක්‍රීඩාංගණයේ මඩ සහිත පිටියක් බවට පත්වූ අතර දෙපිලටම පන්දුව පිරිනැමීම හා අතට ගැනීම සෑහෙන අපහසුවක් වී තිබිණි. තරගය පුරාම වාර්තා වූයේ උත්සාහක දිනුම් 3කි. ඉන් දෙකක් ශාන්ත ජෝශප් විදුහල් පිල තැබූ අතර අනික් උත්සාහක දිනුම ශාන්ත පීතර විදුහලෙන් වාර්තා විය. කෙසේ වුවත් උත්සාහක දිනුම් කිසිවක් ගෝල බවට ප්‍රවර්තනය කිරීමට දෙපිලේහිම ක්‍රීඩකයෝ අසමත් වූහ. 

තරගයේ පළමු මිනිත්තු 10 ඇතූළත පෙරමුණ ගැනීමට ශාන්ත ජෝශප් විදුහල් පිල සමත්වූයේ තරිඳූ මධුරංග තැබූ උත්සාහක දිනුම නිසාය. ඊට මොහොතකට පසුව ශිහාන් එරන්ද උත්සාහක දිනුමක් තබමින් ශාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 10-0 කින් ඉදිරියට ගෙන ගියේය. 

කෙසේ වෙතත් 30 වැනි මිනිත්තුවේදී කෙනත් විමලදාස උත්සාහක දිනුමක් තබා ශාන්ත පීතර විදුහල් පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. පළමු භාගය නිමාවූයේ ලකුණු 10-5 කින් ශාන්ත ජෝශප් විදුහල් පිල ඉදිරියට පනිමිනි. 

දෙවැනි භාගයේදී දෙපිලම ක්‍රීඩා කළේ දැඩි අසිරුවෙන් යුතුවය. පිටියේ තත්ත්වය නිසා කිසිදු ලකුණක් රැස් කිරීමට දෙපිලම අසමත්වීම කැපී පෙනුණ.ි කෙසේ වෙතත් ශාන්ත ජෝශප් විදුහල් පිලේ තරිඳු මධුරංග කහ කාඞ් පතේ දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීමෙන් පසුව ඔවුන්ගේ ක්‍රීඩකයන් පිරිස 14කට අඩුවිය. එහෙත් එහි වාසිය අත්කරගැනීමට ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ අසමත් වූහ. 

ශාන්ත ජෝශප් විදුහල 10 යි.
උත්සාහක දිනුම් 2යි - තරිඳු මධුරංග, ශිහාන් එරන්ද

ශාන්ත පීතර විදුහල 5 යි.
උත්සාහක දිනුම් 1යි - කෙනත් විමලදාස 

- 077

ඡායාරූප : එම්. ඒ. පුෂ්පකුමාර (ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි)


අදහස් (0)

පීතරයන්ගේ අපරාජිත වාර්තාව බිඳවැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.