Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner පීතරයෝ හඹාගොස් කුසලානය ඩැහැගනිති

පීතරයෝ හඹාගොස් කුසලානය ඩැහැගනිති

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අසීරු ඉලක්කයක් හඹාගිය කොළඹ ශාන්ත පීතර විද්‍යාලය ශාන්ත ජෝශප් විද්‍යාලය ලකුණු 22-20 කින් පරාජයට පත්කරමින් මයිලෝ ජනාධිපති කුසලානය 6 වන වරටත් තමන් සතු කරගැනීමට අද (30) සමත් විය. මෙම තරගය කොළඹ තුරඟ තරග පිටියේදී විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්විණ.

ගියවර ශූරයන් වූ ශාන්ත ජෝශප් විද්‍යාලය ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තද, දෙවන භාගයේ සම්පූර්ණයෙන්ම තරගය කනපිට හැරවනු ලැබූ පීතර විද්‍යාලය මෙවර ජනාධිපති කුසලානය නැවතත් සිය විදු මාතාව වෙත රැගෙන ගියේ වසර 8කට පසුවවීම විශේෂත්වයකි.

ජෝශප් විද්‍යාලයේ අංක 12 දරන ක්‍රීඩක ආර්.මධුෂංකගේ පා පහරින් ඇරඹණු තරගයෙන් විනාඩි 3ක් යාමට මත්තෙන් ජෝශප් විද්‍යාලයට දඬුවම් පහරක් ප්‍රදානය කිරීමට තරග විනිසුරුවරයා තීරණය කළේය. දඬුවම් පහරෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් ජෝශප් විද්‍යාලයේ සන්තුෂ් අල්ගම ලකුණු ලබා ගැනීම ඇරඹුවේය.  

නැවතත් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ජෝශප් විද්‍යාලයේ තරිඳු ද අල්විස් ලබාගත් උත්සාහක දිනුම සන්තුෂ් අල්ගම විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීම නිසා ලකුණු 10-0 කින් පෙරමුණ ලබා ගැනීමට ජෝශප් විද්‍යාලයට හැකි විය.

පීතර විද්‍යාලයේ ජේ.ජී. චාල්ස් ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් පළමු උත්සාහක දිනුම ලබා ගැනීමට සමත් වුවත් ලකුණු වැඩිකර ගැනීමට තිබූ ප්‍රවර්තන අවස්ථාව ඔවුන්ට මඟහැරී ගියේය. ඒ වනවිටත් ලකුණු 10-5 ක් ලෙස පෙරමුණ ලබා ගැනීමට ජෝශප් විද්‍යාලයට හැකියාව ලැබිණ.

තරගයේ 19 වැනි මිනිත්තුවේදී නැවතත් ජෝශප් විද්‍යාලය වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ඇරඹු ගැමුණු චේතිය වේගවත් ධාවනයකින් පසු උත්සාහක දිනුම පසුකර යාමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගත් සන්තුෂ් අල්ගම පළමු භාගය අවසානයේ ලකුණු 17-5 කින් ජොශප් විද්‍යාලය පෙරමුණේ තැබීය.

තරගයේ දෙවන භාගය ආරම්භ වී ආරම්භ වී ස්වල්ප මොහොතක් යාමට මත්තෙන් නැවතත් ජෝශප් විද්‍යාලයට දඬුවම් පහරක් පිරි නැමීම නිසා එය සාර්ථක කරගත් සන්තුෂ් අල්ගම ලකුණු 20-5 කින් ජෝශප් විද්‍යාලයේ ජයග්‍රහණයට පාරකපා දුන්නේය. එහෙත් සියලුම ප්‍රේක්ෂකයන් විමතියට පත්කළ ශාන්ත පීතරයන් සම්පූර්ණයෙන්ම තරගය කනපිට හරවමින් දෙවන භාගයේ ජෝශප්වරු මෙල්ල කරමින් තරගයට අවතීර්ණ විය.

තරගයේ අවසන් මිනිත්තු 30 සම්පූර්ණයෙන්ම පන්දුව පීතර විද්‍යාලය තුළ නතුකර ගනිමින් අංක 22 දරන ක්‍රීඩක ඊ.එස්.එන් සිල්වා ලබාගත් උත්සාහක දිනුමත් සමගින් පීතර විද්‍යාලයේ ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා ඉහළ නැගීය.


ජෝශප්වරුන්ගේ සියලු බලාපොරොත්තු සුන්වී යද්දී, පැමිණ සිටි අති විශාල පිරිසකගේ උද්යෝගය මැද නැවතත් උත්සාහක දිනුමක් තැබූ පීතර විද්‍යාලය ක්‍රමයෙන් සිය ඉලක්කයට ලගාවිය.

තරගය පුරාවටම ලබාගත් ප්‍රවර්තන අවස්ථා ත්‍රිත්වයම අසාර්ථක කරගත් පීතර විද්‍යාලයේ කෙනෙත් විමලදාස තරගය නිමාවීමට මිනිත්තු කිහිපයක් තිබියදී ලබාගත් උත්සාහක දිනුම හේතුවෙන් තරගය ලකුණු 20-20 ක් ලෙස සම විය. මෙතෙක් ලබාදුන් ප්‍රවර්තන අවස්ථා සියල්ල අසාර්ථක වුවත් දක්ෂ අයුරින් පන්දුව ගෝල කණු අතරින් පතිත කළ කෙනෙත් විමලදාස පීතර විද්‍යාලයට ජයග්‍රාහී සීමාව පසුකර යාමට අවස්ථාව උදාකර දුන්නේය. ඒ අනුව ලකුණු 22-20 කින් පෙරමුණ ලබා ජයග්‍රහණය පෙනිපෙනීත් තිබියදී කණ්ඩායම් දෙකටම තවත් ඉතිරිව තිබුනේ මිනිත්තු දෙකක පමණ කාලයකි. ඒ අනුව තරගාවලිය දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ශාන්ත පීතර විද්‍යාලයේ කෙනෙත් විමලදාස සමත් විය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානි වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගි විය.

3V2A0034 3V2A9783 3V2A9788 3V2A9893

තරගයේ විශේෂ අවස්ථා 

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

අදහස් (0)

පීතරයෝ හඹාගොස් කුසලානය ඩැහැගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.