Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner බ්‍රැඩ්බි සටනේ රාජකීයයන් පෙරමුණට

බ්‍රැඩ්බි සටනේ රාජකීයයන් පෙරමුණට

Nisanka Sandeepani - 2017 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජකීයයන් පළමු භාගයේදී ඉදිරියෙන් සිටියත් අනපේක්ෂිත ලෙස තරගයේ වාසිය උදුරා ගෙන 12-10 ක් ලෙස ඉදිරියට පනිමින් නැවතත් සටනට පිවිසීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ. එහෙත් පසු කොටසේදී උපක්‍රමශීලීව තරගය පාලනය කළ රාජකීයයෝ මහනුවර පල්ලෙකැළේදී සෙනසුරාදා පැවැති බ්‍රැඞ්බි පළිහ පළමු තරගයේදී ලකුණු 22-17 ක ජයක් ලබාගත්හ. 

අතිවිශාල ක්‍රීඩාලෝලින් පිරිසක් මැද පැවැති මෙම තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 10-5 කින් පෙරමුණ ගත් රාජකීය විදුහල් පිල තරගය පුරා ගෝල් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය. ත්‍රිත්ව විදුහලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුම් 2ක් පමණි.

මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් බලකොටුවේ දී සිය රාජකීයත්වය විදහා දැක්වූ ඕවින් අස්කේගේ නායකත්වයෙන් යුතු රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ත්‍රිත්ව සිංහයන්ට එරෙහිව ලබාගත් ජයත් සමගින් මේ වසරේ ලීග් ශූරතාවත් දිනාගත්හ. රාජකීයයන් අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව දිනාගත්තේ වසර දෙකකට පසුවය. එය රාජකීයයන් පාසල් ලීග් රග්බි කිරුළ ජයගත් 12 වැනි අවස්ථාව ලෙසද ඉතිහාසයට එක්විය.

දෙවිදුහල අතර වාර්ෂික බ්‍රැඞ්බි පළිහ තරග ද්විත්වයේ පළමු වැන්න ලෙසත් පැවැති මේ තරගයේ ජයග්‍රහණයත් සමග ලබන සති අන්තයේ කොළඹ දී පැවැත්වීමට නියමිත එහි දෙවැනි හා තීරණාත්මක තරගයට ඉහළ මානසිකත්වයකින් එක්වීමේ අවස්ථාවද රාජකීයයන්ට හිමිවිය.

තරගයේ 14 වැනි මිනිත්තුවේ දී රෂේන් බණ්ඩාරනායක තැබූ අගනා උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ ත්‍රිත්ව විදුහල් පිල ලකුණු 5-0 කින් පෙරමුණ ගත් අතර 31 වැනි මිනිත්තුවේදී දෙපිලම එක පොදියට පන්දුවට පොර බදන්නට වූහ. එහි වාසිය සාර්ථකව අත්කරගත් හිමන්ත හිරුෂාන් තැබූ උපක්‍රමශීලී උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ මොහොමඞ් ශාකිර් රාජකීයයන් ලකුූණු 7-5 කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය. අනතුරුව පළමු භාගය නිමාවීමට මොහොතකට පෙර දඬුවම් පහරක් සාර්ථක කරගත් ශාකිර් රාජකීය විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 10-5 කින් ඉදිරියට ගෙන ගියේය.

දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 10කට පසුව ත්‍රිත්ව විදුහල් පිලේ ෆුල්බෑක් ක්‍රීඩක ලෂේන් විජේසූරිය විශිෂ්ට උත්සාහක දිනුමක් තැබීමට සමත්වූ අතර ඔහු විසින්ම එය ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු 12-10 කින් පෙරමුණ ගැනීමට ත්‍රිත්ව විදුහල සමත්වූයේ ත්‍රිත්ව ක්‍රීඩාලෝලීන් හුනස්නෙන් නැගී සිටුවමිනි. 
එහෙත් එළැඹුණු මිනිත්තු කිහිපයේදී තරගයට සාර්ථකව පිවිසි රාජකීයයෝ උපක්‍රමශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් උත්සාහක දිනුම් 2 ක්ම තැබුවේ ඔවුන්ගේ ජයග්‍රහණයේ සාර්ථකත්වය විශාල පිටුවහලක් වූ දෙපිලම එකපොදියට සීමා ඉර වෙත තල්ලුවෙමින් යන අතරතුරදීය. මෙය රාජකීයයන්ගේ ප්‍රබලතම උපක්‍රමයයි. 
ඉන් පළමු උත්සාහක දිනුම අෂේන් ප්‍රනාන්දු තැබූ අතර ශාකිර් විසින් එය ගෝලයක් බවට පත් කිරිමට සමත් වූයෙන් ලකුණු සංඛ්‍යාව 17-12 ක් වී රාජකීයයෝ ඉදිරියට ගියහ. ඊට මිනිත්තු කිහිපයකට පසුව එවැනිම ප්‍රයෝගශීලී තරග රටාවකින් රාජකීයයන්ට තවත් උත්සාහක දිනුමක් ගෙන දීමට හම්සා රීසා සමත්වෙද්දී ලකුණු පුවරුව 22-12 ක් වූයෙන් රාජකීයයෝ සටනකින් තොරවම පෙරමුණ ගත්හ. 

කෙසේ වෙතත් සටන අත් නොහළ ත්‍රිත්ව සිංහයන් වෙනුවෙන් තරගයේ 64 වැනි මිනිත්තුවේදී වොරන් වීරකෝන් තැබූ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියේය. එය ගෝලයක් බවට පත් කිරිමට විජේසුරියට ලැබුණු පහසු අවස්ථාව අපතේ ගියේය. 

ඊළඟ මිනිත්තු කිහිපය පුරා දෙපිලම එක පොදියට තරග කරන්නට වූ අතර ත්‍රිත්ව විදුහල් පිල උත්සාහක දිනුමක් තැබීමේ අරමුණින්ද, රාජකීය විදුහල සිය ලකුණු සංඛ්‍යාව රැක ගැනීමේ අරමුණින් ද උණුසුම් තරගයක නිරතවූහ. 

තරග විනිසුරු ඩින්කා පීරිස්ගේ අවසන් නලා සංඥාව නිකුත් වනතුරුම දෙපිලම තරග වැදුණේ ඉස්පාසුවකින් තොරවය. එහෙත් අන්තිමේදී තරගය නිමාවූයේ රාජකීයයන්ට ඓතිහාසික ජයක් ගෙන දෙමිනි. 

 

 

රාජකීය - ත්‍රිත්ව බ්‍රැඩ්බි තරගයේ උණුසුම් අවස්ථා ..

ඡායාරූප -අමිල ගමගේ

 


අදහස් (0)

බ්‍රැඩ්බි සටනේ රාජකීයයන් පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.