Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner මැලේසියාවට ලකුණු 22-09 ක පහසු ජයක්

මැලේසියාවට ලකුණු 22-09 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ ඉපෝහිදී පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාර මැලේසියානු ක්‍රීඩකයෝ අද (20) සමත් වූහ. ශ්‍රී ලංකා පිලට අනුශූරතාව හිමිවිය.

මැලේසියාව මෙම ශූරතාව පිට පිටම ජය ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා පිට පිටම දෙවැනි වසරටත් අනු ශූරයන් බවට පත්විය. තරගාවලියේ අවසන් දිනය වූ අද පස්වරුවේ ඉපෝ මහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී මැලේසියානු පිල ලකුණු 22-9 කින් ශ්‍රී ලංකා පිල පරාජය කළේය. මැලේසියානු ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු 17 තුළදී රැස්කළ ලකුණු 17 නිසා ලකුණු 22-9 ක් ලෙස තරගය අවසන් කිරීමට සමත් වූහ.

ජයග්‍රාහි මැලේසියාව ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළේය. ශ්‍රී ලංකා පිල දඬුවම් පහර 3 කින් ලකුණු ලැබීය.

මැලේසියානු පිලට දෙවැනි අර්ධයේ 23 වැනි මිනිත්තුවේදී ටෙරන්ස් නවිඩි සහ 26 වැනි මිනිත්තුවේදී වොන් වෑන් සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙකට අතිරේක ලකුණු 4 එකතු වීමෙන් ලකුණූ 19-9 ක් ලෙස ශ්‍රී ලංකා පිල වෙතින් තරගය ගිලිහී ගියේය. අනතුරුව මැලේසියාව 35 වැනි මිනිත්තුවේදී දඬුවම් පහර සාර්ථක කරමින් ලකුණු තත්ත්වය 22-9 ක් බවට ඉහළ නැංවා ගත්තේය.

තිළිණ විජේසිංහ වෙතින් 20 වැනි මිනිත්තුවේදී දකුණ කොනේ මීටර 25 ක් පමණ දුර සිට ලැබුණු දඬුවම් පහර ගිලිහී නොගීයේ නම් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි.  

ශ්‍රී ලංකාවට දෙවැනි අර්ධයේ 16 වැනි මිනිත්තුවේදී මීටර 27 ක් පමණ දුර සිට ලැබුණු දඬුවම් පහර තිළිණ විජේසිංහ ගෝල කණු අතරින් යවමින් ලකුණු 9-5 ක් ලෙස ඉදිරියට ඇදුණේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධයේ මිනිත්තු 36 ක්ම මැලේසියානු පිල ග්‍රහණයේ තබා ගනිමින් ලකුණු 6-5 ක් ලෙස ලකුණක් ඉදිරියේ සිටිමින් එම අර්ධය අවසන් කළහ.

තිළිණ විජේසිංහ 14 වැනි මිනිත්තුවේදී මීටර 25 ක් පමණ දුරට සිට සාර්ථක කළ දඩුවම් පහරත් සමඟ ශ්‍රී ලංකාව ලකුණු 6-5 ක් ලෙස පළමු වරට පෙරමුණට පැමිණියේය. තිළිණ වීරසිංහ 9 වැනි මිනිත්තුවේදී මීටර 30 ක් දුර සිට සාර්ථක වෙමින් ලකුණු පුවරුව 5-3 ක් බවට පත්කළේය.

ශ්‍රී ලංකාවට 6 වැනි මිනිත්තුවේදී මීටර 20 පමණ දුර සිට ලැබුණු පහසු දඬුවම් පහර තිළිණ විජේසිංහගෙන් මඟ හැරීමෙන් ලකුණු රැස්කිරීමේ පළමු අවස්ථාව අහිමිවිය. කඵ ජාතික දැවැන්ත ක්‍රීඩකයකු වන නසාලෝ මවාරා (සෙන්ටර්) සිවුවැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ මැලේසියාව ලකුණු 5-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් පෙරමුණ ගත්තේය.

මැලේසියාවට පළමු මිනිත්තුවේදීම මීටර 40 ක් පමණ සිට ලැබුණු දඬුවම් පහර සහ ගෝල ප්‍රවර්ථනය ටෙරන්ස් ගවිඩි වෙතින් මඟ හැරුණි.  

මෙම තරගයට සහභාගි වූ මැලේසියානු පිලට ක`ඵ ජාතික දැවැන්ත ක්‍රීඩකයන් කීප දෙනකුම ක්‍රීඩා කළ ආකාරය දැකගත හැකි විය. එම ක්‍රීඩකයන් හමුවේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ෆාෂීල් මරීජා “අතහරින්න එපා හොඳඳ” යනුවෙන් නිරන්තරයෙන්ම පවසමින් සෙසු ක්‍රීඩකයන් දිරිගැන්වූ ආකාරය දැකගත හැකි විය.

මෙම තරගය පුරාම ශ්‍රී ලංකා අංක 8 ක්‍රීඩක ඔමල්ක ගුණරත්න, මැලේසියානු දැවැන්ත ඉදිරි පෙළ ක්‍රීඩකයන් සමඟ ගැටෙමින් විශිෂ්ට සේවයක් කළේය.

 තරගය නැරඹීමට පැමිණ සිටි 5000 ක අධික ප්‍රේක්‍ෂකයන්ගෙන් මැලේසියානු පිලට ලැබුණු දිරිගැන්වීම ජයග්‍රහණයට උත්ප්‍රේරකයක් විය.  එක්සත් අරාබි පිලට එරෙහිව තරගයේදී ආබාධයකට ලක්වූ සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක රංජන් සහ වින්ගර් ක්‍රීඩක රිචඞ් ධර්මපාල මෙම තරගයෙන් ඉවත්ව සිටියහ.

ධනුෂ්කගේ සෙන්ටර් ස්ථානයේ නිෂෝන් පෙරේරා ද, නිෂෝන්ගේ වින්ගර් ස්ථානයේ ෆුල්බැක් ක්‍රීඩක තිළිණ විජේසිංහ ද, මෙහිදී ක්‍රීඩා කළහ. චානක චන්දිමාල් ෆුල්බැක් ස්ථානයට ද, මොහොමඞ් සෂාන්, වින්ගර් ස්ථානයට ද, පළමු වරට මෙම තරගාවලියේදී කැඳවා සිටියහ.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ මැලේසියාවේදී පැවැති පළමු කොටසේ තරගාවලියේදී මැලේසියාව හමුවේ ලකුණු 17-42 කින් පරාජය විය.  මෙම තරගය පස්වරු 4.07 ආරම්භ වන විට රග්බි තරගයකට ඉතාමත් සුදුසු වැහිබර කාලගුණ තත්ත්වයක් පැවතුණි.

තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ තරග ආරම්භ කරමින් පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර පැවැති තරගයෙන් පිලිපීනය ලකුණු 34-26 ක ජයක් ලැබීය.  පිලිපීනයට තෙවැනි ස්ථානය හිමිවිය.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල සහභාගි වූ තරග තුනම පරාජයට පත්විය.

 

මැලේසියානු කණ්ඩායම

ශ්‍රී ලංකා කණ්ඩායම

(ඡායාරූප - යොහාන් භාසුර)


අදහස් (0)

මැලේසියාවට ලකුණු 22-09 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.